රනිල් - සජිත් සාකච්ඡා SJB කළමනාකරණ කමිටු රැස්වීමෙන් පසු
February 28, 2025 09:55 am
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඉදිරි සාකච්ඡා සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව සිදුකිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී ගැනීමට නියමිතය.
පසුගිය බදාදා දිනයේ අදාළ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණද එදින නිවාඩු දිනයක් බැවින් එම රැස්වීම නොපැවැත්විණි.
ඒ අනුව ඉදිරි දිනකදී මෙම කළමනාකරණ කමිටු රැස්වීම පැවැත්වීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා වට කිහිපයක් පැවතියද ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී අවසන් එකගතාවයකට පැමිණ නොතිබිණි.
දෙපාර්ශ්වයේම පක්ෂ නායකයන්ගේ අවසන් එකඟතාවයක් නොමැතිවීම හේතුවෙන් මෙම සාකච්ඡා ද මේ වනවිට තාවකාලිකව අතරමග නතරවී තිබේ.
කෙසේවෙතත් දෙපාර්ශ්වයේම පාක්ෂිකයන්ගේ අදහස වී ඇත්තේ එළඹෙන මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධව තරග කළහොත් දේශපාලන වශයෙන් වැඩි වාසි ලබාගැනීමට හැකියාව පවතින බවය.