ශ්‍රී ලංකාව ගැන IMF තීරණය පෙබරවාරි 28 දා
February 18, 2025 04:47 pm
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම පසුගිය 2024 නොවැම්බර් මාසයේ දී සිදුවිය.
කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු එක්සත් ජනපද ඩොලර් මිලියන 333ක පමණ මීළඟ වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමක් එහිදී සිදුනොවූ අතර ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමටත් ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එය අනුමත කිරීමටත් යටත්ව පැවතුණි.
මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම අනුමත කිරීම ප්‍රමාද වූයේ ප්‍රධාන වශයෙන් 2025 අයවැය යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූල වන්නේදැයි යන්න අදාළ වීමත් සමඟිනි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 අයවැය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා තිබුණි.
“සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ණය තිරසාරභාවය නැවත ළඟාකර ගැනීම ශ්‍රී ලංකාවේ සමෘද්ධිය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රධාන වන අතර, වගකීම් සහගත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව 2025 වසරේ අයවැය සකස් කිරීම සඳහා අඛණ්ඩ රාජ්‍ය ආදායම් ඒකරාශී කිරීමේ උත්සාහයන් සහ වියදම් සීමා කිරීම අවශ්‍ය වේ. ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ බදු අනුකූලතාව වැඩිදියුණු කිරීමේ උත්සාහයන් අර්බුදයෙන් ඇතිවන අපහසුතා බදු ගෙවන්නන්ගේ එයට දායක වීමේ හැකියාවට සමානුපාතිකව බෙදා හැරීම සහතික කිරීමට උපකාරී වේ. නව බදු නිදහස් කිරීම් වළක්වා ගැනීම මගින් රාජ්‍ය ආදායම් අහිමි වීම් සහ දූෂණ අවදානම් අවම කිරීමට සහ සමාජ වියදම් ඇතුළු වියදම් සඳහා අවශ්‍ය රාජ්‍ය මූල්‍ය ආරක්ෂණ ගොඩනංවා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහාය වීමට උපකාරී වනු ඇත.“
ඒ අනුව ශ්‍රී ලංකා රජයේ 2025 අයවැය යෝජනා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට කොපමණ ආකාරයකින් අනුකූල වන්නේද යන්න වග තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එළඹෙන පෙබරවාරි 28 දින රැස්වීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තුන්වන සමාලෝචනයට අනුමැතිය ලැබුණහොත් එක්සත් ජනපද ඩොලර් මිලියන 333ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමිවනු ඇත. එම ප්‍රවේශය හිමිවීමත් සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 3ක් පමණ වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන අරමුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 1,333 ක් දක්වා ඉහළ යනු ඇත.