යෝෂිත රාජපක්ෂට දුන් ගිනිඅවි ගැන ආරක්ෂක ලේකම් කරුණු කියයි

යෝෂිත රාජපක්ෂට දුන් ගිනිඅවි ගැන ආරක්ෂක ලේකම් කරුණු කියයි

January 29, 2025   10:11 pm

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ගිනිඅවි 6ක් ලබාදී තිබූ බවත්, ඉන් දෙකක් තවමත් ඔහුගේ භාරයේ තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්  (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ අද (29) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

"දැනට ඔහුගේ භාරයේ ගිනිඅවි දෙකක් තියෙනවා. එය එක් ගිනිඅවියක් බවට පත්කළ යුතුයි. ඔහුට දැනුම් දී තිබෙනවා ඉතිරි ගිනිඅවියත් භාරදෙන්න කියලා".

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ, ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් ලබාදී ඇති ගිනිඅවි සම්බන්ධයෙන් සිදුකළ විගණනයට අනුව තවත් ගිනිඅවි 182ක ප්‍රමාණයක් නැවත භාරදී නොමැති බවයි.

විවිධ පුද්ගලයන්ට ලබාදුන් ගිනිඅවි සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය වසරේ දී ආරම්භ කර ලැබූ මෙම විගණනය අනුව බලපත්‍රලාභී ගිනිඅවි 1,697ක ප්‍රමාණයක්, බලපත්‍රලාභි පුද්ගලයින් 1,550 දෙනෙකු අතරේ ලබා දී ඇත.

ඉන් ගිනිඅවි 1,368ක ප්‍රමාණයක් විගණනය වෙනුවෙන් රජයට භාර දී තිබේ.

කෙසේ නමුත් ගිනිඅවි භාරනොදුන් ඇතැම් අය විදේශගත සිටින බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

කෙසේ නමුත් ගිනිඅවි භාර නොදුන් අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවත්, නීතිපති අංශයෙන් ලබාදෙන උපදෙස් අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පවසයි.

මෙහිදී ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් පවසා සිටියේ, මෙලෙස ලබාදී තිබෙන ගිනිඅවි ප්‍රමාණය ඉහළ බවත් ඒ ඇතැම් අයට එකකට වඩා ලබාදී තිබෙන බවයි.

ඒ හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශය මැදිහත් වී එකකට වඩා ලබාදී ඇති සෑම අයෙකුගේම ගිනිඅවි එකකට සීමාකරන බව මෙහිදී පැවසීය.

එයද බුද්ධි අංශ තොරතුරු අනුව ගිනිඅවියක් ලබාදිය යුතු බව තහවුරු කළොත් පමණක් ලබාදෙන බව ආරක්ෂක ලේකම්වරයා පවසයි.