කවුරු TikTok මිලදී ගනීද ?
සයුරෙන් එතෙර

කවුරු TikTok මිලදී ගනීද ?

January 27, 2025   02:52 pm

අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, ටික්ටොක් යෙදවුම මිලදීගැනීමට සුදුසු ආයෝජකයෙක් සොයමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙහිදී සලකා බලන ආයෝජකයින් අතරට ලොව ධනවත්ම මිනිසා වන ඊලෝන් මස්ක්, ලැරී එලිසන්, සමාජ මාධ්‍යයේ ජනප්‍රිය තරුවක් වන මිස්ටර්බීස්ට් එනම් ජිමී ඩොනල්ඩ්සන්, මෙන්ම සමාගම් කිහිපයක් අයත් වේ.

ට්‍රම්ප්ට අනුව එම යෙදවුම මිලදීගන්නා තැනැත්තා ඉන් අනතුරුව ඉන් සියයට 50ක කොටසක් නැවතත් අමෙරිකානු රජයට අලෙවි කළ යුතු වේ.

ටික්ටොක් යෙදවුම ඔස්සේ අමෙරිකානුවන්ගේ දත්ත චීනයට ලබාදෙන බවට එම යෙදවුම අයත් බයිට්ඩාන්ස් සමාගමට චෝදනා කරමින් එය එරට සමාගමකට අලෙවි කරන ලෙස මීට මාස හයකට පෙර කොංග්‍රසය නියෝග කළේය.

එය පසුගිය 19 වනදාට පෙර අලෙවිකිරීමට නියමිතව තිබූ නමුත් බයිට්ඩාන්ස් සමාගම තවමත් ඊට නිසි අනුමැතියක් පළකර නැත.