ට්‍රම්ප්ගේ යෝජනාවට පලස්තීන ජනතාවගේ විරෝධය
සයුරෙන් එතෙර

ට්‍රම්ප්ගේ යෝජනාවට පලස්තීන ජනතාවගේ විරෝධය

January 27, 2025   01:13 pm

ගාසා තීරයේ වෙසෙන ජනතාව ඉන් ඉවත්කර ඊජිප්තුව හෝ ජෝර්දානය වෙත යවා ගාසා හි ගැටලුව විසඳීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ යෝජනාවක් පලස්තීන වැසියන්ගේ දැඩි විරෝධයට ලක්ව තිබේ.

පසුගිය සති අන්තයේදී මාධ්‍ය ඇමතූ ට්‍රම්ප් පවසා තිබුණේ ජනතාව ඉවත්කර ගාසා තීරය පිරිසිදු කළ යුතු බවටයි.

මෙවන් ප්‍රකාශ තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවට පලස්තීන බලධාරීන් ද පවසා තිබුණි.

මෙවන් පසුබිමක පසුගියදා මුදාහැරුණු ප්‍රාණඇපකරුවන්ගේ ඥාතීන්, එම මෙහෙයුමට ලබාදුන් සහාය වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ස්තූතිය පළ කරයි.

"ස්තූතියි ට්‍රම්ප් ජනාධිපතිතුමනි, ප්‍රාණඇපකරුවන් වෙනුවෙන් ඔබ කළ සෑම දේකටම. ලෝකයට සාමය උදාකරන්න යමෙකුට පුළුවන් නම් ඒ නිසැකවම ඔබට." යනුවෙන් ප්‍රාණඇපකරුවන්ගේ ඥාතියෙක් පවසා තිබුණි.

මේ අතර හමාස් ප්‍රාණඇපයේ පසුවන තවත් හය දෙනෙක් මේ සතිය තුළ නිදහස් කරන බවට හමාස් සංවිධානය නිවේදනය කර තිබේ.

අදියර දෙකක් යටතේ මෙලෙස මුදාහරින ප්‍රාණඇපකරුවන් ලැයිස්තුවට මීට පෙර වටයේදී නිදහස් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරුණු කාන්තාවක වන අර්බෙල් යෙහුද් ද අයත්.

මේ අතර, සටන්විරාමයෙන් පසුව උතුරු ගාසා හි නිවෙස් බලා ගමන්කරමින් සිටින පලස්තීන වැසියන්ට ඒ වෙත පිවිසීම අවහිර කර තිබුණි.

ඒ වාඩි ගාසා සමීපයේ ඇති නෙට්සිරම් පිවිසුම අවහිර කරමිනි.

ප්‍රාණඇපකරුවන් මුදාහැරීම වෙනුවෙන් එම පිවිසුම විවෘත කිරීමට ඊශ්‍රායලය පසුව එකඟ වුණි.