පාසල් සිසුවිය පැහැරගත් තරුණයින් අධිකරණයට
January 14, 2025 07:34 pm
රුපියල් ලක්ෂ පනහක කප්පම් මුදලක් ඉල්ලා දවුලගලදී පාසල් සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමට සම්බන්ධ සියලු සැකකරුවන් අද (14) ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එහිදී මහෙස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය විසින් එම වෑන් රථයේ රියදුරු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළාය.
එමෙන්ම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ අද උදෑසන අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවා හෙට (15) දින දක්වා රැඳවුම් භාරයේ තැබීමට නියෝග කළ මහෙස්ත්රාත්වරයි දැරිය පියා භාරයට පත් කිරීමටත් නියෝග කළාය.
මෙම සිද්ධියට සම්බන්ධ වූ තුන්වන සැකකරු අද අළුයමදී ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයේදී දවුලගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් නාසිර් අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර වෑන් රථ රියදුරු වූ මොහොමඩ් අන්වර් සදාම් නැමැත්තා ගම්පොල කහටපිටිය ප්‍රදේශයේදී දවුලගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රධාන සැකකරු විසින් පැහැරගැනීමට ලක් කෙරූ දැරිය අවුරුදු 18වූ මෙම පුද්ගලයාගේ මවගේ සහෝදරයාගේ දියණියද වේ.
සිසුවිය පැහැර ගැනීමට යොදාගත් වෑන් රථය ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ කුලියට වාහන දෙන ස්ථානයකින් රැගෙන ගොස් ඇති අතර දවුලගල පොලීසිය වෙත මෙම පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ලද විගස එහි වැඩබලන ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මොටර් රථ දෙපාර්තමේන්තුව හරහා එහි හිමිකරු සොයාගෙන තිබුණි.
අනතුරුව එහි තිබූ GPS තාක්ෂණය ඔස්සේ වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ ඇති බවට හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳව පොළොන්නරුව පොලීසියට දැන්වීමෙන් පසු රථය පොලිස් භාරයට ගෙන තිබුණි.
ඒ වන විටත් මෙම වෑන් රථයෙන් පැමිණි ප්‍රධාන සැකකරු හා සිසුවිය බස් රථයක නැග මඩකළපුව ප්‍රදේශයට ගොස් තිබූ අතර මෙහි සිටි ඔහුගේ සහායකයින් දෙදෙනා යළි ගම්පොළ ප්‍රදේශයට පැමිණ තිබුණි.
මෙම ප්‍රධාන සැකකරු සිසුවියගේ පියාගෙන් රුපියල් ලක්ෂ පනහක කප්පම් මුදලක් හා වෑන් රථයක් ඉල්ලීම පිළිබඳව හඬ පටයක්ද පොලීසියට ලබා දී තිබුණි.
ජපානයේ රැකියාවක නිරතව සිට මෙහි පැමිණ සිටි මෙම ප්‍රධාන සැකකරු මෙම තරුණිය වෙනුවෙන් මුදල් වියදම් කිරීම හා ඇගේ නිවස ඉදිකරදීම මෙන්ම ඇගේ පියාට වෑන් රථයක් මිලට ගෙන ලබාදීම ආදී තොරතුරුද පොලිසිය වෙත ලැබී ඇති අතර එම කරුණු සැබෑ ද යන්න පිළිබඳ පරීක්ෂණයක් ද පොලීසිය විසින් ආරම්භ කර තිබේ.
පොළොන්නරුව පොලිසිය බාරයේ තිබූ වෑන් රථයද මේ වන විට දවුලගල පොලිසිය වෙත රැගෙන විත් තිබේ.
ප්‍රධාන සැකකරු සමග මෙම සිසුවිය රාත්‍රී දෙකක් අම්පාර හා කල්කුඩා ප්‍රදේශවල නවාතැන් පොළවල සිටිය ද ඇයට කිසිදු ලිංගික හිරිහැරයක් සිදුව නැති බවද ඇය පොලිසියට ප්‍රකාශ ලබාදී තිබේ.
කෙසේ වෙතත් අද දින ඇය වෛද්‍ය පරීක්ෂණයක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.