ආනයනික බහාලුම් කඩිනමින් නිදහස් කිරීම විධිමත්ව සිදු නොවන බවට චෝදනා
January 14, 2025 09:33 pm
ආනයනික බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණද තවමත් එම කටයුතු විධිමත්ව සිදු නොවන බවට බහාලුම් ප්‍රවාහන රථ නියෝජිතයන් චෝදනා කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රේගුව පවසන්නේ බහාලුම් නියෝජිතයන් සහ ප්‍රවාහන රථ නියෝජිතයන් නිශ්කාශන කටයුතු සඳහා සහභාගීවිම ප්‍රමාදවීම තුළ මෙලෙස බහාලුම් නිදහස් කරගැනීමේ තදබදයක් බිහිවී ඇති බවය.
ආනයනික බහාලුම් නිදහස් කරගැනීමේ ප්‍රමාදය සහ තදබදය හේතුවෙන් ඔරුගොඩවත්ත රේගු අංගණය අසල දිගු පෝලිම් නිර්මානය වී තිබූ අතර උද්ගතවූ තත්ත්වයෙන් ඇති විය හැකි අහිතකර ප්‍රතිවිපාක ගැන අද දෙරණ ද දිගින් දිගටම රටට වාර්තා කළේය.
එවන් පසුබිමක ජනවාරි 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රි ලංකා රේගුව හා වරාය ආශ්රිත සේවා සපයන සංගම්වල නියෝජිතයන් කැඳවා මෙම ගැටලුව ගැන සාකච්චාවක් පැවැත්විය.
එහිදි නිශ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරින් දින 7ම පැය 24ම රාජකාරි කිරීමට ජනාධිපතිවරයාට එකඟතාවය පළ කළේය.
ඒ අනුව අද වනවිට පැවති බහාලුම් ප්‍රවාහන කන්ටේනර් රථ පෝලීම් යාම්තාක් අඩුවී තිබුණද, නිශ්කාශන කටයුතු තවමත් විධිමත්ව සිදු නොවීම තුළ තවදුරටත් පෝලීම් පවතින බව බහාලුම් ප්‍රවාහන රථ රියදුරන් චෝදනා කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රේගුව පවසන්නේ මෙලෙස ආනයනික බහාලුම් නිදහස් කරගැනීමේ තදබදයක් ඇතිවීමට හේතුවී ඇත්තේ අදාළ බහාලුම් නියෝජිතයන්ගේ සහ රියදුරන්ගේ ප්‍රමාදය බවය.