ලොවම හෙල්ලූ බිලියනපතිනිය මරණ දඬුවමින් ගැලවීමට ගත් උත්සාහය
සයුරෙන් එතෙර

ලොවම හෙල්ලූ බිලියනපතිනිය මරණ දඬුවමින් ගැලවීමට ගත් උත්සාහය

December 3, 2024   10:10 pm

වියට්නාමයේ දේපොළ අලෙවි ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් ලෙස ප්‍රකටව සිටි ත්‍රොන්ග් මායි ලාන් ට දුන් මරණ දඬුවම ඉවත්කරන්නැයි ඇය කළ අභියාචනය වියට්නාම ඉහළ අධිකරණය හමුවේ පරාජයට පත්වී තිබේ.

ත්‍රොන්ග් මායි ලාන් පසුගිය අප්‍රේල් මාසයේදී මරණ දඬුවමට ලක්වුණි.

ඒ ලොව විශාලතම බැංකු වංචාව ලෙස සැලකෙන සයිගොන් වාණිජ බැංකුව රහසිගතව පාලනය කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 12 ඉක්මවූ මුදලක් වංචා කිරීමේ චෝදනාව යටතේ ය.

සයිගොන් වාණිජ බැංකුව වියට්නාමයේ ඇති පස්වැනි විශාලතම ණය දෙන්නා වන අතර, වසර 10ක පමණ කාලයක් පුරා එය පාලනය රහසිගතව පවත්වාගනිමින් ඉන් ණය සහ මුදල් ලබාගෙන ඇති බව මායි ලාන් ට එරෙහි චෝදනා එල්ලවී තිබුණි.

එහිදී අමෙරිකානු ඩොලර් බිලියන 12ක පමණ මුදලක් වංචා කිරීමට අමතරව තවත් බිලියන 27කට වැඩි මුදලක් අවභාවිත කිරීමේ චෝදනා ඇය ඇතුළු 85කට ආසන්න පිරිසකට එල්ල වුණි.

ඔවුන් එලෙස වංචා කළ මුදල ඉතිහාසයට එක්වන්නේ වියට්නාම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3කට ආසන්න මුදලක් ලෙසය.

මේ අතර වියට්නාම නීතියට අනුව තමන් වංචා කළ මුදලින් සියයට 75ක් ආපසු ගෙවුවහොත්, ලබාදී ඇති මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලෙස අඩු කිරීමේ අවස්ථාව පවතී.

ඒ අනුව තමන් වංචා කළ මුදල ආපසු ගෙවීමට ඇය උත්සාහ කරන බව වාර්තා වෙයි.