මෙන්ඩිස් සමාගමේ පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

මෙන්ඩිස් සමාගමේ පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

December 4, 2024   04:18 pm

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය. 

ගෙවිය යුතු හිඟ සුරාබදු මුදල් ඉකුත් නොවැම්බර් මස 30 වනදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් එම පෙත්සම ගොනුකර තිබුණි. 

දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. 

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල සටහන් කළේ මෙම පෙත්සම තුළ දක්වා ඇති කරුණු අනුව බැලූ බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවය.

පෙත්සම සලකාබැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නොවැම්බර් මස 30 වනදාට පෙර හිඟබදු ගෙවා අවසන් නොකළහොත් දැනට නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බවට සුරා බදු දෙපාර්තමේන්තුව විසින් තම සේවා දායකයා වෙත නිකුත් කර තිබෙන ලිපිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කර තිබේ.

දෙසැම්බර් මස 31 වන දා දක්වා මත්පැන් නිෂ්පාදන කටයුතු සිදුකිරීමට තමන්ට බලපත්‍ර නිකුත් කර තිබියදී හදිසියේ මේ ආකාරයෙන් නොවැම්බර් මස 30 වනදා ඒවා අත්හිටුවන බව දැන්වීම අත්තනෝමතික ක්‍රියාවක් බවත් ඔහු පවසා ඇත.

තම සමාගම වෙත මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 10ක් නිකුත් කර තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඉන් බලපත්‍ර 08ක් අද දින සිට අත්හිටුවන බවට දැනුම් දී ඇති බවද ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබේ. 

තම සේවාදායකයා විසින් ගෙවීමට තිබෙන රුපියල් බිලියන 5.3ක හිඟ සුරාබදු මුදල් සහෝදර සමාගමක් වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් මේ වන විට මහ බැංකුව විසින් තහනමට ගෙන තිබෙන රුපියල් බිලියන 12කට අධික මුදල්වලින් ගෙවා දැමීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් රඳවාගෙන සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් මුදල්වලින් මෙම බදු මුදල් ගෙවීම සඳහා ප්‍රතිපාදන මුදාහරිණ ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා ඇත. 

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  ආචාර්ය. අවන්ති පෙරේරා මහත්මිය දැඩි පෙර විරෝධය පළ කර තිබේ.

හිඟ බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර ඉකුත් නොවැම්බර් මස 30 වන සිට අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බව සඳහන් කළේය.

එම තීරණය පෙත්සම්කාර සමාගමට පමණක් අදාළ වන කරුණක් නොවන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එය බදු ගෙවීම් පැහැර හැරි සියලුම මත්පැන් නිෂ්පාදන සමාගම්වලට අදාළ වන බවත් පැවසීය. 

ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව මිනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.