දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191කට සීමාවෙයි
November 28, 2024 03:42 pm
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලුදෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 191කි.
තරගය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි කිංග්ස්මේඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, අද (28) තරගයේ දෙවෙනි දිනයයි.
කඩාවැටුණු දකුණු අප්‍රිකානු ඉනිමේ ඉහළම ඉනිම නායක ටෙම්බා බවුමා රැස්කළේය.
ඔහු පන්දු 117කට මුහුණදෙමින් ලකුණු 70ක් රැස්කිරීම හා කෙෂාව් මහරාජ් ලකුණු 24ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20කට වැඩි ඉනිමක් හෝ ගොඩනැගීමට නොහැකි විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිතර වූ අසිත ප්‍රනාන්දු ලකුණු 44කට කඩුලු 3ක් හා ලහිරු කුමාර ලකුණු 70කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.
ඔවුන් දෙදෙනාට අමතරව විශ්ව ප්‍රනාන්දු (2/35) හා ප්‍රබාත් ජයසූරිය (2/24) කඩුලු 2 බැගින් දවාගත්හ.
ඊයේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහරදීම සඳහා අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළේය.
කෙසේ නමුත් එදින ක්‍රීඩාකළ හැකිවූයේ පන්දුවාර 20.4ක් පමණක් විය.
දිනය පුරා වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් තරගය වේලාසන අවසන් කිරීමට සිදුවිය.
ඒ වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 80ක් රැස්කරගෙන සිටියේය.