හැමෝම හොයන මන්ත්‍රී වැටුප - ඇත්තම කතාව මෙන්න
November 19, 2024 11:58 am
මන්ත්‍රීවරයෙකුට ලබාදෙනු ලබන්නේ වැටුපක් නොව දීමනාවක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසන්නීය.
අද දෙරණ BIG FOCUS වැඩසටහන සමග එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, වර්තමානයේ මන්ත්‍රීවරයෙකුට 54,000කට ආසන්න දීමනාවක් හිමිවන බවය.
මීට අමතරව පැමිණීමේ දීමනාවක් ලෙස පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනයන් වෙනුවෙන් රු 2,500ක මුදලක් සහ රැස්වීම් නොපවැත්වෙන දිනයන්වල දී කාරක සභාවලට සහභාගී වීම වෙනුවෙන් රු 2,500ක දීමනාවක් ද ඔවුන්ට හිමිවේ.
දුර ප්‍රමාණය මත ඉන්ධන දීමනාවක් හිමිවන බවත්, එය සූත්‍රයක් අනුව ගණනය කරන බවත් ඇය සඳහන් කළාය.
ඊට අමතරව පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40ක් ඇතුළත නිවසක් නොමැති අයට, අයදුම් කර මාදිවෙල ඇති මන්ත්‍රී නිවාස ලබාගැනීමට හැකියාව ඇති බව ද ඇය කියා සිටියාය.
මාදිවෙල එවැනි නිවාස 108ක් මේ වනවිට ඇති බවත්, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ඉල්ලීම පරිදි පළමුවෙන් ඉල්ලීම් ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව නිවාස ලබාදෙන බවත් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.
එමෙන්ම නිවාස කුලිය ලෙස රු 2,000ක මුදලක් ගෙවන බවත්, විදුලිබිල හා ජල බිල අදාළ මන්ත්‍රීවරයා විසින් ගෙවිය යුතු බව ද පාර්ලිමේන්තු මහලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියාය.
එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වෛද්‍ය පහසුකම් ලබාගෙන එම මුදල දීමනාවලින් අඩු කිරීමටත් පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශය එක්ව පහසුකම් සලසා ඇතැයි පැවසු මහලේකම්වරිය, මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අවශ්‍ය දීමනා ද අදාළ අමාත්‍යාංශය විසින් දරනු ලබන බව ද සඳහන් කළාය.