අති උත්කර්ෂවත්ව පැවැත්වුණු දෙරණ ලක්ස් සිනමා සම්මාන උලෙළ

අති උත්කර්ෂවත්ව පැවැත්වුණු දෙරණ ලක්ස් සිනමා සම්මාන උලෙළ

November 17, 2024   01:29 pm

මෙරට සිනමා තරු ඇගයීමට ලක්වන 9 වැනි දෙරණ ලක්ස් සිනමා සම්මාන උලෙළ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවති අතර එය ඊයේ (16) රාත්‍රීයේ ටී.වී.දෙරණ ඔස්සේ විකාශය කෙරුණි.
    
2023 වසරේ තිරගතවූ චිත්‍රපට 33 ක් සඳහා සම්මාන ලබාදීම මෙහිදී සිදුකෙරුණු අතර ඒ වෙනුවෙන් නිර්මාණශීලිත්වය දායක කළ කලාකරුවන් ඇගයීම මෙහිදී සිදු කෙරුණි. 
  
හොඳම තිර රචනය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණේ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතාගේ මනල් චිත්‍රපටයයි.

ජනප්‍රිය රංගන ශිල්පියාට හිමි සම්මානය සජිත ඇන්තනිට හිමිවූ අතර හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය ද ඔහුටම හිමිවිය.

ජනප්‍රිය රංගන ශිල්පිනියට හිමි සම්මානය හිමිකරගත්තේ ශලිනි තාරකාය. 

හොඳම රංගන ශීල්පිනිය වෙනුවෙන් වූ සම්මානය උදාරි වර්ණකුලසූරියට හිමිවිය. 

නැගී එන නළුවා ලෙස ශිවකුමාර් ලිංගේෂ්වරන් සහ නැගී එන නිලිය ලෙස දිනාරා පුංචිහේවා සම්මානයට පාත්‍ර විය.

හොඳම ප්‍රහසන නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වුණේ ජයලත් මනෝරත්න මහතාය.

ජනප්‍රියතම ප්‍රතිවීර චරිතය සඳහා වූ සම්මානය හිමිවුණේ විශිෂ්ඨ රංගධර අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාටය.

මේ වසරේ ආදායම් වාර්තා තැබූ චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ගජමෑන් චිත්‍රපටයයි.

සම්මාන රාත්‍රියේ සුවිශේෂීම සම්මානයක් වන ජීවිතේ එක්වරක් පමණක් පිදෙන යාවජීව සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ආචාර්ය විශාරද නන්දා මාලිනි මහත්මියයි.