හිටපු සුරාබදු කොමසාරිස් ඇතුළු 4ක් දුන් ප්‍රතිඥාව දීර්ඝ කරයි
November 6, 2024 05:50 pm
තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතර දෙනකු අධිකරණයට ලබා දී ඇති ප්‍රතිඥාව ලබන ජනවාරි මස 20 වනදා දක්වා දීර්ඝ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (6) ප්‍රකාශ විය.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු හතර දෙනකුට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් මෙම දැනුම් දීම සිදු කළේය.
මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු , ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී එහි දෙවන වගඋත්තරකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සේනානි දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට කිසිදු ආකාරයකින් සම්බන්ධ වී නොමැති බව සඳහන් කළේය.
එසේ තිබියදී ඔහු මෙම අධිකරණයට අපහාසකිරීමේ නඩුකරයේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීම යුක්ති සහගත නොවන බවත් ඉන් ඔහුට අගතියක් සිදුවන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.
එබැවින් ඔහු මෙම නඩු කටයුතුවලින් මුදාහරිණ ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහෙත් එම ඉල්ලීමට විරෝධය පළකළ පෙත්සංකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දෙවන වගඋත්තරකරු කුමන ආකාරයක තනතුරක් දැරුවත් ඔහු අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව සඳහන් කළේය.
දෙපාර්ශවය ඉදිරිපත්කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී නියෝගයක් කළ නොහැකි බවයි.
ඉන් අනතුරුව පෙත්සම කරුණු තහවුරුකිරීම සඳහා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.
නීතියට පටහැනි ආකාරයෙන් අලුතින් මත්පැන්හල් බලපත්‍ර නිකුත්කිරිම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී, එම නියෝග උල්ලංඝණය කරමින් අලුතින් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු හතර දෙනෙකුට එරෙහිව ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් මෙම පෙත්සමක් ඉදිරිපත් කර ඇත.