ට්‍රම්ප් ජය තහවුරු කරයි
November 6, 2024 01:34 pm
රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබේ.
ඒ අනුව ඔහු එරට 47වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ අමෙරිකානු ජනතාව තමාට පෙර නොවූ විරූ සහ බලවත් ජනවරමක් ලබාදී ඇති බවයි.
මේ අතර ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෝක නායකයින් රැසක් ඔහුට සුබ පැතුම් එක්කර තිබුණි.
එසේම මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵලය ලෝක ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් ඇතිකරතැයි විචාරකයෝ අනුමාන කරති.
මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 267ක් දිනා ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ උප ජනාධිපතිනී කමලා හැරිස් දිනා ඇත්තේ ආසන 224ක් පමණි.
ඒ අනුව 2024 අමෙරිකානු ජනාධිපතිවරණය තමන් ජයගත් බවට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ඔහු එසේ පැවසුවේ ෆ්ලොරිඩාහි, රිපබ්ලිකන් පක්ෂ මූලස්ථානයේ සිට සිය ආධාරකරුවන් අමතමිනි.
හිටපු ජනාධිපති ට්‍රම්ප් එහිදී පැවසුවේ අමෙරිකානු ජනතාව පෙර නොවූ තරම් ජන වරමක් තමන් වෙත ලබා දී ඇති බවය.
ජනාධිපතිවරණ සටනේ ඉතාමත් තීරණාත්මක ප්‍රාන්ත අතරින් ජෝර්ජියා, උතුරු කැරොලිනා සහ පෙනිසල්වේනියා ප්‍රාන්තවල ජය හිටපු ජනාධිපති ට්‍රම්ප් සතුව ඇතැයි පුරෝකථන පෙන්වා දෙයි.
එමෙන්ම සෙනෙට් සභාවේ බලයත් නැවතත් තමන් සතුකර ගැනීමට රිපබ්ලිකන් පක්ෂය මේ වනවිට සමත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීමේ 60 වැනි ජනාධිපතිවරණය මෙරට වේලාවෙන් ඊයේ (05) සවස් කාලයේ සිට අද උදෑසන දක්වා පැවැත්වුණි.
ලියාපදිංචි අමෙරිකානු ඡන්දදායකයින් මිලියන 186.5න් මිලියන 81කට වැඩි පිරිසක් පූර්ව ඡන්දය භාවිත කිරීමේ ක්‍රමවේදය යටතේ ඡන්ද දිනයට පෙරම ඡන්දය භාවිත කර තිබූ අතර, ඊයේ දිනය විවෘත වූයේ එලෙස ඡන්දය භාවිත නොකළ පිරිස සඳහාය.
ඒ අනුව රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ෆ්ලොරිඩා හි වෙස්ට් පාම් බීච් හි ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය භාවිත කළේය.
එමෙන්ම ට්‍රම්ප්ගේ උප ජනාධිපති අපේක්ෂකයා වන ජේ. ඩී. වෑන්ස් ද ඊයේ ඡන්දය භාවිතා කළේ, ඔහායෝ හි සින්සිනාටි නගරයේදීය.
කෙසේ නමුත් ඩිමොක්රටික් අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් මැතිවරණ දිනයට පෙර තැපැල් ඡන්ද භාවිත කර ඇති අතර, ඇයගේ උප ජනාධිපති අපේක්ෂකයා වන ටිම් වොලස් ද මිනසොටා හි දී පූර්ව ඡන්ද භාවිත ක්‍රමවේදය යටතේ ඡන්දය ලබාදී තිබුණි.
අමෙරිකානු මැතිවරණ ක්‍රමවේදයට අනුව එරට ඡන්ද ප්‍රතිඵල නිකුත් වන්නේ ජාතික මට්ටමෙන් නොව ප්‍රාන්ත මට්ටමෙනි.
ඒ ප්‍රාන්ත 50ට අදාළව ඡන්ද විද්‍යාල නම් ක්‍රමවේදයක් යටතේයි.
ජනාධිපතිවරණයේ ඡන්දය ගණනය කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින නමුත්, ඇතැම් ප්‍රාන්තවල ඡන්දය භාවිත කිරිමේ කාලය දීර්ඝ කර තිබේ.
ඒ ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍රවල හටගත් දෝෂ ඇතුළු විවිධ කරුණු මුල්කරගනිමිනි.
2020 දී ද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අතර ඔහුව පරාජය කරමින් ජනාධිපති ජෝ බයිඩන් ජයග්‍රහණය කළේය.
මේ අතර, අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරාගැනීමට අමතරව, ඉදිරි වසර දෙකකට අමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ ඡන්ද විමසීමත් ඊයේ පැවැත්වුණි.
ඊට අමතරව සෙනෙට් සභාවේ ආසන සියයෙන් 33ක් සඳහා නීති සම්පාදකයින් තෝරාගැනීමත් මෙවර මැතිවරණ දිනයේදී සිදුකෙරුණි.
එමෙන්ම ප්‍රාන්ත 11ක සහ පුවර්ට රිකෝ සහ අමෙරිකානු සමෝවා යන ස්වයං පාලන කලාප දෙකේ ආණ්ඩුකාරවරුන් තෝරාගැනීම ද මෙහිදී සිදුකෙරේ.