එඩිතර විපක්ෂය හදන්නේ එඩිතර මිනිස්සු - දිලිත්

එඩිතර විපක්ෂය හදන්නේ එඩිතර මිනිස්සු - දිලිත්

November 5, 2024   08:41 pm

රනිල් වික්‍රමසිංහ මහතා මෙරට බොහෝ දේශපාලන පක්ෂ විනාශ කර, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ද අවසන් කර ඇති බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ රත්මලානේ පැවැති වැඩසටහනකදීය.

සර්වජන බලයේ රත්මලාන ආසන බලමණ්ඩල පිහිටුවීම හා මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම අද (05) පෙරවරුවේ සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

"අද සර්වජන බලය ලංකාවේ ජීවතුන් අතර සිටින එකම දේශපාලන බලවේගය බවට පත්වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ පිහිටෙන් ලංකාවේ සියලුම පක්ෂ ඔහු අවසන් කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ කෘතහස්ත දේශපාලනයෙන් අවසන් වූ අන්තිම දේශපාලන පක්ෂය බවට පත්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ."

"දැන් තනතුරුවලට පත්වෙන්නේ හරිනි අමරසූරිය සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාතිමිත්‍රාදීන්. එ් රතුපාට අය නෙමෙයි... රෝස පාට අය. ඒ සීනුවේ අය නෙමෙයි...මාලිමාවේ අය."

"අපි මේ එඩිතර විපක්ෂය හදන්නේ එඩිතර මිනිස්සු මිසක්... එඩිතර කියලා වචනයක් දාගෙන කතා කරනවා නෙමෙයි. අපි මේ මහ පොළොවේ දේශපාලනය කරන්න බය නෑ.  මේ සර්ව ජනයාගේ බලයයි."