චැනල් ෆෝ නාලිකාවට තොරතුරු දුන් විශ්‍රාමික නිලධාරියා කවුද ?

චැනල් ෆෝ නාලිකාවට තොරතුරු දුන් විශ්‍රාමික නිලධාරියා කවුද ?

October 28, 2024   08:28 pm

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන ඔස්සේ මෙරට බුද්ධි අංශවලට පදනම් විරහිත චෝදනා නැගීමට වත්මන් රජයේ ප්‍රබල තනතුරක් දරන නිලධාරියෙකු සහාය වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

අදාළ වාර්තා වැඩසටහනේ ඇතුළත් කරුණු පිළිබඳ සොයාබැලීමට පත්කළ විශ්‍රාමික ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය. 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ විශ්‍රාමික ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් සහ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් කමිටු වාර්තා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රසිද්ධ නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඔක්තෝබර් 14 වනදා ප්‍රකාශ කළේය.

ඒ අනුව එහි පළමු පියවර ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තාව ගම්මන්පිල මහතා ඉකුත් 21 වනදා ප්‍රසිද්ධියට පත්කළේය.

අනතුරුව එහි දෙවන පියවර ලෙස පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව චැනල් ෆෝ නාලිකාව සැකසූ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් කමිටු වාර්තාව ප්‍රසිද්ධ කිරීම අද පෙරවරුවේ සිදුකළේය. 

"2023 සැප්තැම්බර් 05 වනදා චැනල් 04 නාලිකාව විකාශනය කරපු Sri Lanka's Easter Bombings වැඩසටහනේ මේ චැනල් 04 නාලිකාව නැගූ චෝදනාව තමයි බෞද්ධ නායකයෙක් ජනපති කරන්න ඉස්ලාම් තරුණයින් මරාගෙන මැරෙණ ප්‍රහාරයක් කතෝලික පල්ලිවලට එල්ල කළා කියන කාරණය. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමේ යටි අරමුණින් පාස්කු ප්‍රහාරය කළේ අපේ හමුදා බුද්ධි අංශය යැයි කියලා ඉතාම බරපතළ චෝදනා නගනවා.

මේ කරුණුවල ඇත්ත නැත්ත සොයන්න කමිටුවක් දාන්න කියලා වැඩියෙන්ම හඬනැඟුවේ කාදිනල්තුමයි. නගපු චෝදනාවල ඇත්ත නැත්ත සොයාබලන්න විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා. මේ පත්කළ කමිටුවට කාදිනල්තුමන් හෝ  මාලිමාවේ නායකයන් හෝ වෙනත් පාර්ශවයක් විසින් කිසිම විරෝධයක් මතුකළේ නැහැ. 
මෙන්න මේ වාර්තාව අද අපි ජනගත කරන්න බලාපොරාත්තු වෙන්නේ. වැඩසටහන විකාශනය වුණාට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශය මේ වැඩසටහනේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. සුරේෂ් සලේ මහතා චෝදනා ප්‍රතික්ෂේප කිරීමෙන් නොනැවතී මේ චෝදනා නිවැරදි නොකළොත් නීතිමය පියවර ගන්නවා කියලා තර්ජනය කරනවා. මොකද වෙන්නේ ? චැනල් ෆෝ නාලිකාව තමන් ඉදිරිපත් කළ  වැඩසටහනේ නිරවද්‍යතාවය වෙනුවෙන් පෙනීසිටිනවා වෙනුවට හෙමින් සීරුවේ අන්තර්ජාලයෙන් මේ වැඩසටහන ඉවත් කරගන්නවා. 

මෙම වැඩසටහනේ මුහුණ බොඳ කරලා කට හඬ වෙනස් කරගෙන කථා කරන රජයේ නිලධාරියෙක් කියලා පෙනී සිටින පුද්ගලයෙක් ඉන්නවා. ඔහු පොලිස් නිලධාරියෙක් වැඩසටහන බලපු අය අහවලා යැයි විශ්වාස කරනවා. එයා CID හිටපු නිලධාරියෙක්. ඒ දේශද්‍රෝහි නිලධාරියාට මේ ආණ්ඩුවෙන් රටේ ඉහළ තනතුරක් දීලා තිබෙනවා. 

රටත්, රට බේරාගත් රණවිරුවත් අපකීර්තියට පත්කරන්න පදනම් විරහිත චෝදනා නගන්න චැනල් ෆෝ කියන කොටි හිතවාදී නාලිකාවට මුදලට විකිණිලා හෝ වෙනත් යම් කාරණයක් නිසා හෝ  සහාය දැක්වූ මේ පුද්ගලයා කවුදැයි ආණ්ඩුව සොයා බලන්න ඕනේ. ඒ පුද්ගලයා මේ රටේ ප්‍රබල තනතුරක් දරනවා නම් වහාම තනතුරින් ඉවත්කර දඬුවම් කරන එක ආණ්ඩුවේ වගකීම. අපි ආණ්ඩුවට අභියෝග කරනවා. පුළුවන්නම් මේ මුහුණ සඟවාගෙන ඉන්න නිලධාරියා ගැන සොයන්න කමිටුවක් දාන්න."

මාධ්‍යවේදියා - දැන් ඔබතුමා ගියපාරනම් නම් වශයෙන් හෙළිකළා. ඇයි මේ පාර නම් වශයෙන් හෙළිකරන්න බිය ?

"පුද්ගලයා පිළිබඳ තහවුරු කිරීමක් නැහැ. අනුමානයක් පමණයි තියෙන්නේ වාර්තාවේ ඒ පිළිබඳ සඳහනක් නැහැ. සමාජයේ පුද්ගලයා පිළිබඳ අනුමානයක් තියෙනවා. තහවුරු කරගැනීමක් නැති නිසා නම කිව්වොත් පුද්ගලයාට කරන අසාධාරණයක්."