සතුටු දැයක් නිර්මාණය කර ගැනීමේ දර්ශනය අප සතුයි - දිලිත්

සතුටු දැයක් නිර්මාණය කර ගැනීමේ දර්ශනය අප සතුයි - දිලිත්

October 25, 2024   07:54 pm

බුද්ධියක් සහ තාර්කික මනසක් ඇති පුද්ගලයින් සර්වජන බලය සමග එක්ව ඇති බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

සර්වජන බලයේ කොළඹ දිස්ත්‍රික් නායක ව්‍යවසායක උපාලි ජයසේකර මහතාගේ හෝමාගම මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (24) සහභාගී වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

"සතුටු දැයක් නිර්මාණය කර ගැනීමේ දර්ශනය ඇතුවයි අපි අද දේශපාලනයට ඇවිත් තියෙන්නේ. මේ නිසාම තමයි අපිට වැදගත් වෙන්නේ මෙවර දේශපාලනය කරන්නේ අර පරණ පුරුදු පාරම්පරික දේශපාලනඥයින් නෙමෙයි. ඔවුන් අතරින් යම් කෙනෙක් අපි තෝරාගෙන තිබෙනවා නම් ඔවුන් අපි තෝරාගත්තේ ඔවුන් අපේ දර්ශනයට අනුගත වෙන නිසා. බුද්ධියක් තියෙන, තාර්කික මනසක් තියෙන නිර්මාණශීලි පුද්ගලයින් තමයි මෙතන වාඩිවෙලා ඉන්නේ. ඒක නිසා තමයි අපි කියන්නේ අපි හදන පාර්ලිමේන්තුවේ අපි එඩිතරව කටයුතු කරන අතර එය ගොබ්බ පාර්ලිමේන්තුවක් නොවන බව. අපි අනුර කුමාර සමග වුණත් හිටගන්නට සූදානම්. ඔහු ප්‍රගතිශීලි යම් දෙයක් මේ රට වෙනුවෙන් ඉදිරිපත් කරනවානම් ඒ වෙනුවෙන්. ඒ වුණාට අපේ සභ්‍යත්වය විනාශ වෙන යමක් කරන්න සූදානම් වෙනවානම්, අපේ රටේ භෞමික අඛණ්ඩතාවයට හානි වන යමක් ඔහු අටවන්න සූදානම් වෙනවානම් ඒකට විරුද්ධ වෙන්නත් මේ එඩිතර විපක්ෂය ඕනෑම වෙලාවක එඩිතරව හිටගන්නට සූදානම් බව මතක් කරන්නට ඕනේ"

මේ අතර මෙවර මහ මැතිවරණයට සර්වජන බලයෙන් ඉදිරිපත්ව සිටින ආබාධිත ප්‍රජාව ඊයේ (24) පක්ෂ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකටද එක් විය.

එහිදී අදහස් දැක්වූ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,
"මේ ආබාධ සහිත ප්‍රජාව ජනතාව අභිප්‍රේරණය කළ හැකි ප්‍රජාවක්. අපේ සමාජයේ ධෛර්ය පිළිබඳ උදාහරණයක් සපයන කොටසක්. ඉතිං මේ නියෝජනය තමයි අපි පාර්ලිමේන්තුවට ගෙන එන්නේ.