ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

October 25, 2024   06:45 pm

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (25) අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමිල පල්ලියගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව සඳහන් කළේය. 

එදින පරීක්ෂණ අවසන් කොට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළේය. 

ඒ අනුව මෙම නඩුකරයට අදාළ අමතර ලේඛනද අධිකරණයට ඉදිරිපත් කර මෙම පෙත්සම කරුණු තහවුරු කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය. 

ඒ අනුව අදාල පෙත්සම නොවැම්බර් මස 05 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එදින කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළේය.