සතුටින් සිටීමට නම් ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කළ යුතුයි - දිලිත්

සතුටින් සිටීමට නම් ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කළ යුතුයි - දිලිත්

October 24, 2024   04:15 pm

මෙරට ජනතාවට සතුටින් සිටීමට නම් ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

මහමැතිවරණය ඉලක්කකර සර්වජන බලය පවත්වන ජනහමු මාලාවේ තවත් අදියරක් ඊයේ (24) පස්වරුවේ නිට්ටඹුවේදි පැවැත්වුණි.

එම ජනහමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. 

"සර්වජන බලය දේශපාලනයට එන්නේ මේ රටේ දේශපාලනයේ විශාල වික්ෂිප්ත, ගැස්සුණු, හෙලවිලා තිබුණු තැනකදි. අපේ සර්වජන බලය විශ්වාස කරන්නේ මේ රටේ මිනිස්සුන්ට සතුටින් ඉන්නට පුළුවන් රටක් නිර්මාණය කළ යුතුයි කියන තැන. ඒ සඳහා යන මාර්ගය හැටියට අපි තෝරා ගත්තේ ලොව සියලුම දියුණු රටවල් අසල්වැසි ඉන්දියාව ඇතුළු ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය. මේක තමයි තියන එකම විසඳුම.

ඔබ දන්නවා මට මෙයින් ලබා ගන්න කිසිම දෙයක් නැහැ භෞතිකව.  මෙවර 3%ක් අරගෙන හිටපු අය 43%ක් ගන්නකම් විපක්ෂයක් නිකන් බලාගෙන හිටියා. බස් එලව එලව හිටියා, ජපන් කතා කළා, පියානෝ ගගහා හිටියා. ඒ වෙච්ච දේ තමයි ඔය. එහෙම බෑ දැන් 43%ක් අනුමත කරලා තියෙනවා අනුර කුමාර සහෝදරයාගේ ආණ්ඩුව. 

අපි එඩිතර විපක්ෂය සර්වජන බලය ඔබෙන් මේ කතිරය ඉල්ලා සිටින්නේ ඒ ඔවුන්ගේ කකුළෙන් අදින්නට නෙමෙයි. හොඳ ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රශස්ත විපක්ෂයක් හදාගන්නට. ඒ විපක්ෂය තුළ කොහොමද මේ රටට හානිකර දේවල් වළක්වන්නේ, හොඳ දේවල් ඉදිරියට ගෙනයන්නේ කියන එක ගැන කතා කරන්නටයි අපිට අවශ්‍ය. ඔබ වෙනුවෙන් කතා කරන්නටයි අපි මේ ඡන්දය ඉල්ලා සිටින්නේ."