ආරක්ෂාව අවශ්‍ය ඊශ්‍රායල ජාතිකයින් ට සහායවීමට පොලීසිය සූදානමින් 

ආරක්ෂාව අවශ්‍ය ඊශ්‍රායල ජාතිකයින් ට සහායවීමට පොලීසිය සූදානමින් 

October 24, 2024   12:06 pm

සංචාරකයෙක් හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා මෙරට ට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයෙකුට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනීයන්නේ නම් අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

පොලිස් මූලස්ථානය පවසන්නේ ඒ සඳහා සංචාරක සහ නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතා ව අමතන ලෙසට ය.

ඔහුගේ දුරකථන අංකය වන්නේ 0718 - 592651 ය.

මේ අතර මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවිය.

ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණේ ඉන්දීය බුද්ධි අංශ විසිනි.  

එම සැලසුම සම්බන්ධයෙන් ඔක්තෝබර් 7 වනදා තොරතුරු ලැබුණු බව ඊයේ (23) වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

මෙම තොරතුරත් සමගම ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායල ජාතිකයින් වැඩිපුර ගැවසෙන ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට මෙරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.