තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ ඉල්ලුමේ වෙනසක්

තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ ඉල්ලුමේ වෙනසක්

October 20, 2024   06:45 pm

මෙවර මහ මැතිවරණය සඳහා ඉල්ලුම්කර ඇති තැපැල් ඡන්ද අයදුම්කරුවන් සංඛ්‍යාව පසුගිය ජනාධිපතිවරණයට වඩා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉදිරිපත්වී ඇති තැපැල් ඡන්ද අයදුම්පත් සියල්ල මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවය.

පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද දායකයින් 712,319 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.

මේ අතර 2024 මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද රක්ෂණ පැකට් ලබන බදාදා දින භාර ගැනීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අදාළ තැපැල් ඡන්ද රක්ෂණ පැකට් කඩිනමින් සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබා දීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේය. 

මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඔක්තෝබර් මස 30, නොවැම්බර් 01 සහ 04 යන දින වල සිදු කිරීමට නියමිතය.

අදාළ දින වල ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට නොවැම්බර් 07 සහ 08 යන අතිරේක දින දෙක තුළ ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.