බෝම්බ බියක් හේතුවෙන් ගුවන්යානයක් කටුනායකට ගොඩබස්වයි

බෝම්බ බියක් හේතුවෙන් ගුවන්යානයක් කටුනායකට ගොඩබස්වයි

October 19, 2024   04:35 pm

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීය ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.

ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි මගීන් 96 දෙනෙකුගෙන් සහ කාර්යය මණ්ඩලයේ 8 දෙනෙකුගෙන් සමන්විත "Vistara" ගුවන් සේවයට අයත් ගුවන් යානයක් එලෙස හදිසි ගොඩබැස්සවීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

යානයේ බෝම්බයක් පවතින බවට ලද තොරතුරක් හේතුවෙන් එම පියවර ගෙන ඇති අතර මේ වනවිට එහි සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය ඉවත් කර යානය පරීක්ෂා කිරීමට කටයුතු සිදුකරමින් සිටී.

ඒ සඳහා බෝම්බ නිෂ්ක්‍රිය අංශය සහ යුද හමුදා කොමාන්ඩෝ බළකාය කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

ඉන්දීය ගුවන්සේවාවලට අයත් ගුවන්යානාවල බෝම්බ ඇතැයි අන්තර්ජාලය ඔස්සේ පළවූ අනතුරු ඇඟවීම් හමුවේ ගුවන්යානා හදිසියේ ගොඩබෑම සම්බන්ධ පුවත් ගෙවුණු සති කිහිපය පුරා නිරන්තරයෙන් වාර්තා වුණි.

එම සතිය ආරම්භයේ සිට එවැනි අනතුරු ඇඟවීම්වලට යටත්වී ඇති ඉන්දීය ගුවන්යානා සංඛ්‍යාව 50කට ආසන්නය.

එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන්යානා සම්බන්ධ‍යෙන් ඉන් බහුතර අනතුරු ඇඟවීම් සංඛ්‍යාවක් නිකුත් කර තිබුණි.