ජයන්ට් ස්නේක් හෙඩ් මිනිස් පරිභෝජනයට සුදුසු ද ?

ජයන්ට් ස්නේක් හෙඩ් මිනිස් පරිභෝජනයට සුදුසු ද ?

October 19, 2024   03:00 pm

දැදුරුඔයේ ව්‍යාප්ත වී ඇති ''ජයන්ට් ස්නේක් හෙඩ්'' නමැති මත්ස්‍ය විශේෂය ජලාශයේ සෙසු මත්ස්‍ය ව්‍යාප්තියට හානිකර වුවත් මිනිස් පරිභෝජනයට සුදුසු බව වයඹ පළාත් ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් පවසයි.

ඔවුන් මේ බව තහවුරු කළේ අදාළ මත්ස්‍ය ව්‍යාප්තිය ඇති දැදුරු ඔය ජලාශයේ ධීවර තොටුපොළ තුනක් ආශ්‍රිතව ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවය.

දැදුරුඔයේ ව්‍යාප්ත වී ඇති ආක්‍රමණික "මාංශ භක්ෂක" මත්ස්‍ය විශේෂයක් හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න අඩුවී කර්මාන්තය දැඩි තර්ජනයකට ලක්වී ඇති බවට පසුගියදා ධීවරයන් චෝදනා කර තිබුණි.

ඒ ජයන්ට් ස්නේක් හෙඩ් නමැති මෙම මත්ස්‍ය විශේෂය සෙසු මත්ස්‍යයින් ගිලදමන බව පවසමිනි.

දැදුරු ඔය ආශ්‍රිතව මහව - කටුවන්නාව, ගනේවත්ත - කැකුලාවල සහ වාරියපොළ - තඹරව ලෙස ධීවර තොටුපළ තුනක් ක්‍රියාත්මක වන අතර ඒවායේ මෙම මත්ස්‍ය ව්‍යාප්තිය බහුල වී තිබුණි.

මෙම චෝදනාවත් සමග වයඹ පළාත් ධීවර අමාත්‍යාංශ නිලධාරීන් විශේෂ අධ්‍යයනයක් සිදුකොට, මත්ස්‍ය විශේෂය මිනිස් ආහාරයට සුදුසු බවට තහවුරු කරගෙන තිබේ.

එමෙන්ම, අදාළ තොටුපොළ තුනෙහි ඊයේ දිනය පුරා විශේෂ මෙහෙයුමක් දියත් කිරීමටද ඔවුන් පියවර ගෙන තිබුණි.

ඒ තොටුපොළ ආශ්‍රිත ධීවරයින්, ජල ජීවී අධිකාරියේ නිලාධාරීන් සහ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද එක්වය.

එහිදී, එම මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් ජලාශයෙන් ඉවත් කිරීමට ඔවුන්ට හැකිවී තිබේ.

එලෙස ඉවත් කළ මත්ස්‍යයින් කැකුලාවල තොටුපොළේදී ආහාරයට සුදුසු පරිදි සකස් කිරීමෙන් අනතුරුව නිලධාරීන් විසින් ආහාරයට ගැණුනේ, මිනිස් ආහාරයට සුදුසු බවට යළි තහවුරු කරමිනි.