දුෂ්කර මෙහෙයුමකින් සොයාගත් තරුණයාගේ සිරුර

දුෂ්කර මෙහෙයුමකින් සොයාගත් තරුණයාගේ සිරුර

October 16, 2024   06:57 pm

පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචි ලෝකාන්තය ප්‍රදේශයේදී අඩි 500ක් වූ ප්‍රපාතයකට විසිකර තිබූ බව කියන තරුණයෙකුගේ සිරුර කුඩාඔය යුධ හමුදා කමාන්ඩෝ සමාජිකයන් කළ මෙහෙයුමකදී අද (16) දහවල් සොයාගනු ලැබීය  

එසේ ඝාතනය කර තිබුණේ හාලිඇල, රෝසවත්තේ පදිංචිව සිටි 22 හැවිරිදි විවේකානන්දන් සූරියන් නැමැති තරුණයෙ කි.

කොමාන්ඩෝ භටයන් තිදෙනෙක් කඹ ආධාරයෙන් මහා ප්‍රපාතයට බැස, දැඩි ලෙස හානිවී තිබු මෘත දේහය උඩට රැගෙන එනු ලැබූ බව අප වාර්තාකරු පැවසීය.

කමාන්ඩෝ භටයන් 10 දෙනෙක්, යුධ හමුදා සහ පොලීසියේ නිලධාරීන් පිරිසක් මෙම සෝදිසි මෙහෙයුමට එක්ව සිටි බව වාර්තා වෙයි.

ඊයේ බදුල්ල එළදළුව යුද හමුදා කඳවුරේ සාමාජිකයන් හා පොලීසිය එක්ව සෝදිසියක් ක්‍රියාත්මක කළ අතර එහිදී මරණකරුගේ පාවහන් දෙක සහ හිස් වැසුමක් සොයාගෙන තිබිණ.

එහෙත් ප්‍රපාතයට බැසීම අසීරුවූ බැවින් යුද හමුදා කමාන්ඩෝ බළකාය කැඳවූ බව බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා පැවසීය.

ඝාතනයට ලක්වූ තරුණයා හාලිඇල ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවි ආයතනයක රැකියාව කරන අවිවාහක පුද්ගලයෙක් බව පොලීසිය පැවසීය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම අබිරහස් ඝාතනයේ සුලමුල හෙළිවු බව පොලීසිය සඳහන්කළේය.

සැකකරුවන්ගේ ප්‍රකාශ මත මෘත දේහය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණි.

සැකකරුවන් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඉකුත් 30 දින මංගල උත්සවයක් සඳහා යන බව පවසමින් නිවසින් පිටවු තම පුතා දින කිහිපයක් ගත වුවද නැවත නිවසට නොපැමිණි බව පවසමින් මියගිය තරුණයාගේ පියා විසින් පසුගිය 6 වනදා හාලිඇල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.