ඉන්දියාවේදී දුම්රිය දෙකක් ගැටෙයි

ඉන්දියාවේදී දුම්රිය දෙකක් ගැටෙයි

October 12, 2024   09:49 pm

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දී මගී ප්‍රවාහන දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන්දියාවේ චෙන්නායි ආසන්න තිරුවල්ලූර් දිස්ත්‍රික්කයේ දී එම දුම්රිය අනතුර සිදුවී තිබුණේ ඊයේ (11) රාත්‍රී 8.30ට පමණය.

මගී ප්‍රවාහන දුම්රියක් වන මිසුරු - දර්බන්ගා බාග්මතී දුම්රිය එක්වර ප්‍රධාන දුම්රිය මාර්ගයෙන් අතුරු දුම්රිය මාර්ගයට ඇතුළු වී එහි නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

ඉන් මගී ප්‍රවාහන දුම්රියේ පෙට්ටි 12ක් පමණ පීලි පැන තිබූ අතර ඇතැම් දුම්රිය පෙට්ටි පෙරළී ගොස් තිබූ අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ දී මගී දුම්රිය තුළ පුද්ගලයින් 1,360ක් සිට ඇති අතර ඉන් තුවාල ලබා තිබුණේ 19ක් පමණි.

අනතුරින් මෙතෙක් කිසිදු පුද්ගල මරණයක් වාර්තා වී නැතත් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.

අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා විශේෂිත කමිටුවක් ද පත්කර තිබේ.