ප්‍රදේශ රැසක භීතිය පතුරුවන සොරු 

ප්‍රදේශ රැසක භීතිය පතුරුවන සොරු 

October 12, 2024   09:11 pm

කාන්තාවන්ට අතවර කර නිවාසවල භාණ්ඩ කොල්ලකන සොර කල්ලියක් දොම්පේ, වැලිවේරිය හා මල්වතු හිරිපිටිය යන ප්‍රදේශවල සැරිසරන බවට පොලීසියට පැමිණිලි ලැබී තිබේ.

එහි ආසන්නතම සිදුවීම ඊයේ (11) වැලිවේරියෙන් වාර්තාවී ඇති අතර එහිදී සිදුවී ඇත්තේ, අදාළ සොරුන් නිවසකට ඇතුළු වී කාන්තාවකට සිය දරුවා හා සැමියා ඉදිරිපිටදී අතවර කර භාණ්ඩ කොල්ලකා පළායෑමය.

වැලිවේරිය ප්‍රදේශයේ නිවසකට ඊයේ අලුයම 2ට පමණ සොරුන් දෙදෙනෙකු එලෙස ඇතුළු වී තිබුණි.

එලෙස පැමිණි සොරුන් දෙදෙනා තියුණු ආයුධ පෙන්වා එම නිවසේ සිටි සැමියාගේ හා සිව් හැවිරිදි දරුවාගේ දෙඅත් ගැටගසා කටට පාංකඩ ඔබා ඇති බව පොලීසිය පැවසීය.

අනතුරුව නිවසේ සිටි බිරියව ඔවුන් දෙදෙනා ඉදිරිපටදීම අතවරයට ලක් කර තිබේ.

අලුයම 2 සිට 4 පමණ තෙක් සොරුන් දෙදෙනා නිවස තුළ සිට පිටවගොස් ඇත්තේ, නිවසේ තිබූ වටිනා භාණ්ඩ තොගයක් ද සොරාගනිමිනි.

නිවැසියන් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇති අතර පොලීසිය ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එහිදී අනාවරණ වී ඇත්තේ, මෙම සොරුන් දෙදෙනා මින් පෙරත් වැලිවේරිය, දොම්පේ සහා මල්වතුහිරිපිටිය යන ප්‍රදේශවල සොරකම් සිදුකර ඇති බවය.

එම සොරුන් දෙදෙනා නිවෙසකට ඇතුළුවීමට උත්සාහ දරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.

සොරුන් දෙදෙනා මින් පෙරත් අදාළ නිවෙස්වල සොරකම් සිදුකර ඇති බවට වාර්තාවන බව පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වනවිට පොලීසිය දැඩි අරබුදයකට මුහුණ දී සිටී.

ඊට හේතුවී ඇත්තේ මෙම සොරුන් දෙදෙනා සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණ කරගෙන පැමිණීම නිසා කිසිඳු තොරතුරක් සොයාගැනීමට නොහැකිවීමය.

ඒ අනුව පොලිස් කණ්ඩායම් රැසක් එම සොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පත්කර ඇති අතර එම සොරුන් දෙදෙනා සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් වෙතොත් ළඟම පොලීසියට දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.