එඩිතර විපක්ෂයක් නම් හැමදාම විපක්ෂයේ ඉන්න වෙන්නේ නැහැ - දිලිත්

එඩිතර විපක්ෂයක් නම් හැමදාම විපක්ෂයේ ඉන්න වෙන්නේ නැහැ - දිලිත්

October 12, 2024   05:47 pm

ප්‍රශස්ත විපක්ෂයක් නිර්මාණ කළොත් ආණ්ඩුවකට වඩා වැඩක් කළ හැකි බව සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එඩිතර විපක්ෂයක් නම් හැමදාම විපක්ෂයේ සිටීමට සිදු නොවන බවය.

ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වය යටතේ සර්වජන බලයෙන් 'පදක්කම' ලකුණින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ විශේෂ හමුවක් අද (12) වස්කඩුව හෝටලයකදී පැවැති අතර එහිදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"අපි කතා කරන්නේ ජාතිකත්වය ගැන. ජාතිවාදය නෙමෙයි. ශ්‍රී ලංකාවේ ජාතිකත්වය සිංහල බෞද්ධ සභ්‍යත්වය මත පදනම්වී තිබේ කියන්න ගොඩක් අය බයයි. ඒ අය හිතනවා මෙහෙම කිව්වොත් මිනිස්සු තරහ වෙයි කියලා." 

"ප්‍රශ්නය තිබෙන්නේ දේශපාලනඥයෝ ජාතිකත්වයේ ජාතිවාදී කෑල්ල තෝරගෙන දේශපාලනය කිරීම. ඒක දකුණේ කෙනත් කරනවා... උතුරේ කෙනත් කරනවා. අපි ඒකට විරුද්ධයි."

"මේ රට ආර්ථික දියුණුව සඳහා ගෙනියන්න පුළුවන් වෙන්නේ රටේ සියලුදෙනාවම ව්‍යවසායකත්ව මනසකට ගෙනආවොත්." 

"ගංවතුර ගැලුවට පස්සේ නම් බලන්නේ යන්නේ කොහොමද කියලා... මේක කරන්න බැහැ. උපාය මාර්ගික සැලසුමක් තිබෙන්න ඕනේ. එහෙම තමයි රටවල් දියුණු වෙලා තියෙන්නේ."  

"දැන් අපිට ලැබිලා තිබෙන්නේ විපක්ෂයට යන්න. අපි ආවේ දේශපාලනය වෙනස් කරන්න. ප්‍රශස්ත විපක්ෂයක් හැදුවොත් ආණ්ඩුවකට වැඩිය වැඩක් කරන්න පුළුවන්. හොඳ විපක්ෂයක් නම් හැමදාම විපක්ෂයේ ඉන්න වෙන්නේ නැහැ. අපි එඩිතර විපක්ෂයක්. නඩු තියෙනවා නම්... ඇඳ යට බඩු තියෙනවා නම්...හොර ගිණුම් තියෙනවා නම් බියගුළු විපක්ෂයක් වෙනවා."  

වසරක් වැනි කෙටි කාලයක් තුළ විශාල වර්ධනයක් අත්පත් කරගෙන ඇති සර්වජන බලය මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම තරග කරන අතර එහි සියලුම අපේක්ෂකයන් අද පැවැති හමුව සඳහා සහභාගී විය.

වගකීම් සහගත, සාධාරණ මැතිවරණය ව්‍යාපාරයක් දියත් කිරීම පිළිබඳව සියලු අපේක්ෂකයින් දැනුවත් කිරීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබුණි. 

සර්වජන බලයෙන් 'පදක්කම' සලකුණ යටතේ මෙවර මහ මැතිවරණයට තරග කරන සියලුම අපේක්ෂකයින් වෙනුවෙන් පදක්කම් පැළඳවීම ද මෙහිදී සිදුකෙරුණි.