රිය අනතුරකින් පසු කලහකාරී ලෙස හැසිරුණු නීතීඥවරිය සහ පවුලේ තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට 

රිය අනතුරකින් පසු කලහකාරී ලෙස හැසිරුණු නීතීඥවරිය සහ පවුලේ තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට 

October 7, 2024   05:21 pm

කැස්බෑව මංසන්ධියේ ඊයේ (06) සිදුවූ රිය අනතුරකින් පසු කලහකාරී ලෙස හැසිරුණු නීතිඥවරියක් සහ ඇයගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙක් හෙට (08) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැස්බෑව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සැකකාර නීතිඥවරිය ඇතුළු පිරිස, රිය අනතුරට සම්බන්ධ වූ ටිපර් රථ රියදුරෙක්ට සහ පොලිස් සැරයන්වරයෙක්ට පහර දුන් බවට චෝදනා එල්ල වී ඇත. 

පොල්ගස්ඕවිට දෙස සිට කොළඹ දෙසට ධාවනය කෙරුණු මෝටර් රථයක් ඊයේ (06) පෙරවරු 8.45 ට පමණ කැස්බෑව මංසන්ධියේ ආලෝක සංඥා පද්ධතිය අසල නවත්වා තිබී ඇත්තේ රිය ධාවනය සඳහා සංඥාව ලැබෙනතුරුය.

එම අවස්ථාවේ ඊට පිටුපසින් පැමිණි ටිපර් රථයක් මෝටර් රථයේ පිටුපස ගැටී තිබේ.

නමුත් ඉන් සුළු හානියක් පමණක් මෝටර් රථයේ පිටුපස කොටසට සිදුව තිබුණත් ඉන් කෝප වූ මෝටර් රථයේ සිටි රියදුරු සහ තවත් කාන්තාවක් දෙදෙනෙක් ඉන් බැස විත් ටිපර් රථ රියදුරුට පහර දී තිබුණි.

ඒ සමග කැස්බෑව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙක් එම ස්ථානයට ගොස් ඇත්තේ කැස්බෑව මංසන්ධියේ හටගත් රථවාහන තදබදය පාලනය කිරීම සඳහාය.

එහිදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු සහ ඔහුට පහරදීම සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරුද අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට සූදානම් වූ අවස්ථාවේ මෝටර් රථ රියදුරුගේ නීතිඥවරියක් යැයි පවසන දියණිය එහි පැමිණ තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ ඇය පොලිස් සැරයන්වරයාගේ නිල ඇඳුමේ කොලරයෙන් අල්ලා " මම ලෝයර් කෙනෙක් තමුසෙ කොහොමද මගේ තාත්තව අරන් යන්නේ, තමුසෙට මගේ තාත්තව අරගෙන යන්න දෙන්නේ නැහැ " යයි පවසමින් ආවේගශීලීව හැසිරුණු බවය.

කෙසේවෙතත් අනතුරුව ඔවුන් සියලුදෙනා කැස්බෑව පොලිස් ස්ථානය වෙත රැගෙන ආ අතර එම අවස්ථාවේදීත් නීතිඥවරිය, ඇගේ නැගණිය සහ මෝටර් රථයේ රියදුරු වූ පියාද නොසන්සුන් ලෙස හැසිරී තිබුණි.

කෙසේවෙතත් පොලිස් ස්ථානාධිපතිවරයා මැදිහත් වී සැකකාර නීතිඥවරිය, ඇගේ පියා, සැමියා සහ නැගණිය යන සියලුදෙනා අත්අඩංගුවට ගෙන කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී වැඩබලන මහෙස්ත්‍රාත් සුනිල් වීරසිංහ මහතා නියෝග කළේ ඔවුන් සියලු දෙනා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

මඩපාත පොල්හේන ප්‍රදේශයේ පදිංචි සැකකාර නීතිඥවරිය මීට වසරකට පමණ පෙර දිවුරුම් දුන් තැනැත්තියක් බව වාර්තා වෙයි.

පහර කෑමට ලක්වූ 25 හැවිරිදි ටිපර් රථ රියදුරු ප්‍රතිකාර සඳහා කළුබෝවිල  ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණි.

කැස්බෑව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.