බදු නොගෙවූ පුද්ගලයින් සෙවීමේ නව වැඩපිළිවෙළක්

බදු නොගෙවූ පුද්ගලයින් සෙවීමේ නව වැඩපිළිවෙළක්

October 6, 2024   03:56 pm

2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අයකර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ හෙට දිනයේ සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කරන බවය.

මෙම වසරේ සැප්තැම්බර් මස 30 වන දින වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1417ක මුදලක් බදු වශයෙන් අය කරගෙන තිබේ.

එය 2024 වර්ෂය සඳහා වූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2024ක මුදලෙන් සියයට 70 ඉක්මවූ අගයක්ය.

කෙසේ නමුත් තවදුරටත් ස්වතක්සේරු ගෙවීම් යටතේ ගෙවිය යුතු බදු ගෙවන්නන් සිටින බවට හඳුනාගෙන ඇති බැවින් ඔවුන්ගේ පරිශ්‍ර වෙත ගොස් ඒවා අය කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව නොගෙවූ ස්වතක්සේරු බදු අය කරගැනීමේදී නීතිමය ක්‍රමවේදය සපුරා ක්ෂණික අය කරගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට එම දෙපාර්තමේන්තුව  ඉදිරියේදී කටයුතු කරනු ඇත.