ආබාධ පසෙකලා දැනුම බෙදන ගුරුවරුන් දෙදෙනෙක්

ආබාධ පසෙකලා දැනුම බෙදන ගුරුවරුන් දෙදෙනෙක්

October 6, 2024   01:23 pm

දැනුමින් කුසලතාවන්ගෙන් මෙන්ම යහපත් ගතිපැවතුම් වලින් හෙබි අනාගත පරපුරක් බිහිකිරීම සදහා ගුරුවරුන්ට පැවරී ඇත්තේ සුවිශේෂී කාර්යයකි.

ඔක්තෝබර් 05 වන දින ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇත්තේ එම සුවිශේෂි කාර්යය ඇගයීම පිණිසය. 

ඊට සමගාමීව මෙරටදී වසරක් පාසා ඔක්තෝබර් 06 වනදා ගුරු දිනය සමරනු ලබයි.

ගුරු දිනයේ මූලික පරමාර්ථය වනුයේ සිය භූමිකාව වඩා අර්ථසම්පන්න කිරීමට කැපවූ ගුරුවරුන්ගේ‍ ඇගයීමය. 

යුනෙස්කෝ ආයතනය විසින් සෑම වර්ෂයකම ඔක්තෝබර් 05වනදා ලෝක ගුරු දිනය ලෙස නම් කර තිබෙන අතර ලොවපුරා රටවල් 100ට වැඩි සංඛ්‍යාවක ගුරුවරුන් ඉටු කරන්නා වූ සුවිශේෂී කාර්යභාරය අගයමින් ගුරු දිනය සමරනු ලබයි. 

ඒ වෙනුවෙන් ගුරු උපහාර උලෙළ රැසක් මෙරටදී සංවිධාන කර තිබේ

ඒ අතර ගුරුවරුන් දෙවිවරුන් ලෙසට අදටත් අපේ සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇත. 

ආබාධ පසෙකලා දරුවන් වෙනුවෙන් කැපවෙන ගුරුවරුන් දෙපලක් අපිට හමුවන්නේ මහනුවර උඩිස්පත්තුව අමුපිටිය ජාතික පාසලෙනි. 

දුලංගි අබේකෝන් ගුරුවරිය තොරතුරු හා සන්නිවේදන විෂය ඉගැන්වීම සිදුකරයි.

බැලූ බැල්මට අඩුපාඩුවක් නොමැති වුවත් මේ ගුරුවරියට එක් අතක් අහිමියි. 

ඒ වයස අවුරුදු 11දී සිදුවූ හදිසි අනතුරකිනි.

අතක් අහිමිවූවත් එය අධ්‍යාපනයට බාධාවක් කර නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙසට අද ගුරුවරියක් ලෙස ඇය විශිෂ්ඨ ජයක් හිමිකරගෙන තිබේ. 

එමෙන්ම මේ පාසලේම සේවය කරන සමන්ත බංඩාර ගුරුතුමන් එවැනිම උතුම් ගුරුවරයෙකි. 

මේ විදුහලේම පරිඝනක අංශයේ සේවය කරන මේ ගුරුතුමත් දරුවන් රැසකට මිණිපහනකි.

අඩුපාඩු පසෙලකා කැපවීමෙන් දරුවන් රැසකට දැනුම දෙන දිසාපාමොක් පරපුරේ අප්‍රහිත ධෛර්යයකින් හෙබි මේ ගුරුවරුන් දරුවන්ටත් රටටත් ආදර්ශයකි.