රජයේ වාහන දහස් ගණනක් ගැන තොරතුරු නැහැ

රජයේ වාහන දහස් ගණනක් ගැන තොරතුරු නැහැ

September 28, 2024   12:48 pm

රජයේ වාහන දහස් ගණනක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණ කරයි.

රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසුවේ, වාහන අතුරුදන් හෝ අස්ථානගත වීම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කරන බවය. 

නව රජය බලයට පත්වීමත් සමග හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් සහ ජනාධිපති උපදේශකයින් භාවිතකළ නිල වාහන රැසක් පසුගිය දිනවල ගාලුමුවදොර ගාල්කර තිබෙනු දක්නට ලැබුණි. 

මෙවන් පසුබිමක ජාතික විගණන කාර්යාලයට තොරතුරු වාර්තා වී ඇත්තේ, සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, වාරිමාර්ග සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසකට අයත් වාහන දහස් ගණනක් පසුගිය කාලයේදී අස්ථානගතවී ඇති බවය.

ඉන් වැඩිම වාහන සංඛ්‍යාවක් අස්ථානගත වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන බවට වාර්තා වේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග එක්ව එම විමර්ශනය සිදුකරන බවයි.

මෙම විගණනයෙන් පසු අතුරුදන් හෝ අස්ථානගත රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කරන බවද ඒ මහතා පැවසීය.