ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුවට අධ්‍යාපන ලොක්කෙක් CID අත්අඩංගුවට

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුවට අධ්‍යාපන ලොක්කෙක් CID අත්අඩංගුවට

September 23, 2024   11:38 am

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂකවරා අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි අයෙකු බව සඳහන්ය.

ඔහු විසින් අදාළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මේ අතර පසුගිය දා ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් මාර්ගයෙන් බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර රත්මලේ තිස්ස විදුහලේ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපතිවරයා, නිරීක්ෂක සහ එහි සේවය කළ තවත් ගුරුවරයෙකුගේ වැඩ තහනම් කිරීමට නිර්දේශ ඉදිරිපත් වී තිබුණි.

උතුරුමැද පළාත් විභාග කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලබාදුන් වාර්තාවෙන් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සුදුසුයැයි අනුමත කර පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමුකර ඇති බව වාර්තා විය.  

මේ අතර මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට තහවුරු වුවහොත් එම විභාගය නැවත පැවැත්වීමේ හැකියාව පවතින බව, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසන්නීය.

පසුගිය 20 වනදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාක්ච්ඡාවකදී ඇය ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන තෙක් විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව තාවකාලිකව අත්හිටුවා ඇති බවය. 

පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා පවත්වනු ලැබූ 2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2,849කදී දූ දරුවන් 323,7879ක් පෙනී සිටියේය.

කෙසේවෙතත්, විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවූ බවට අනාවරණ වීමත් සමඟ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූ අතර, පසුගිය දින කිහිපයේදීම මව්පියන් විභාග දෙපාර්මේන්තුව ඉදිරිපිට ඇතුළු ප්‍රදේශ රැසකදී විරෝධතාවල නිරත වූයේ සිය දරුවන්ට සාධාරණය ඉල්ලමිනි.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන්  විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.