ඡන්දය ප්‍රකාශ කළ සමස්ත ප්‍රතිශතය සියයට 75ක්

ඡන්දය ප්‍රකාශ කළ සමස්ත ප්‍රතිශතය සියයට 75ක්

September 21, 2024   09:13 pm

ශ්‍රී ලංකාවේ 9වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21)  පැවැත්වුණි.

මේ වන විටත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මැදියම් රැයට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිසම මෙන්ම මැතිවරණ නිරීක්ෂකයන්ද ප්‍රකාශ කළේ මෙරට ඉතිහාසයේ සාමකාමීම ජනපතිවරණය මෙය බවය.

2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව17,140,354කි. 

ඒ සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක ස්ථාපිත කර තිබුණි. 

ඒ අනුව ඡන්ද දායකයින් අද පෙරවරුවේ සිටම ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණ සිය වටිනා ඡන්දය භාවිත කරනු දක්නට ලැබුණි. 

ඇතැම් ප්‍රදේශවල ඡන්ද දායකයින් පැවැති අයහපත් කාලගුණ තත්ත්වය ද නොතකමින් ඡන්දය භාවිත කිරීම සඳහා වැඩි උනන්දුවක් දැක්වු බව අප වාර්තාකරුවන් සඳහන් කළේය. 

අද උදෑසන 7ට ආරම්භ වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පස්වරු 4 ට නිමාවට පත්වුණි.

මෙවර ජනාධිපතිවරණයේදී සමස්ත ඡන්ද දායකයන්ගෙන් සියයට 75 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ තේරීම් භාර නිලධාරීන් පවසයි.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ 75% ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 80 % ක් හා කළුතර දිස්ත්‍රික්කයේ  75 %ක් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ 74% ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එය මාතර දිස්ත්‍රික්කයේ 76% ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 78% ක් ලෙස සටහන්වී තිබුණි.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 78% ක් ලෙසත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 80% ක් ලෙසත් සටහන්ව තිබූ අතර මාතලේ දිස්ත්‍රික්කයේ සටහන්ව තිබුණේ 79% ක් ලෙසය. 

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75% ක් වන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය 75% කි.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ 75 % ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයේ 75% ක්ද ඡන්දය ප්‍රකාශ කර තිබේ.

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 76% ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ 69% ක් සහ අම්පාර දිස්ත්‍රික්කයේ 70% ක් ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 73% ක් වන අතර මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය 77% කි.

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 75% ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 78% ක් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ 65%ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 68%ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ 72% ක්, වව්නියා දිස්ත්‍රික්කයේ 72% ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ 71% ක් ඡන්දය ප්‍රකාශ කර තිබේ.