රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්

රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්

September 20, 2024   03:22 pm

පාස්කු ඉරුදින එල්ලකළ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ  ශානි අබේසේකර යන මහත්වරුන් මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කෙරුණි.

ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ, මෙම විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවය. 

ඒ අනුව මෙම විමර්ශන තවමත් මූලික අදියරේ පවතින බවත්, මෙම පෙත්සම්කරුවන් දෙදෙනා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ තීරණයක් ගෙන නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් පෙත්සම්කරුවන් දෙදෙනාට එරෙහිව විමර්ශනවලදී අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වුවහොත් ඒ පිළිබඳව මෝසමකින් අධිකරණයට දැනුම් දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.