ටැවිස්ගේ කරමතින් ඔස්ට්‍රේලියාවට සටන්කාමී ජයක්

ටැවිස්ගේ කරමතින් ඔස්ට්‍රේලියාවට සටන්කාමී ජයක්

September 20, 2024   12:53 pm

සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජයකර ඊයේ (19) පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 07ක පහසු ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

මෙය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඔස්ට්‍රේලියාව අඛණ්ඩව ලැබූ 13වැනි තරග ජයග්‍රහණය වෙයි. 

ඒ අනුව තවත් එක් ජයක් සම්පූර්ණ කරගතහොත් අඛණ්ඩව වැඩිම තරග සංඛ්‍යවක් ජයත් කණ්ඩායම් අතර දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියාවට හැකිවේ.

අඛණ්ඩ තරග 13ක් ජයගෙන මෙහි සම දෙවැනි ස්ථානයේ මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ( 2023 ජනවාරි - 2023 සැප්තැම්බර්) රැඳී සිටියි.

කෙසේ නමුත් අඛණ්ඩව වැඩිම තරග සංඛ්‍යාවක් ජයගත් කණ්ඩායම වන්නේද ඔස්ට්‍රේලියාවය. ඔවුන් 2003 වසරේදී තරග 21ක් අඛණ්ඩව ජයග්‍රහණ කර ඇත.

තවද මෙය එක්දින ක්‍රිකට් පිටියේ ඔස්ට්‍රේලියාව හඹාගොස් ලැබූ 05වැනි ඉහළම ජයග්‍රහණය ද වෙයි.

තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ නොටින්හැම්හිදී පැවති මෙම තරගයේ එංගලන්තයෙන් හිමි වූ ලකුණු 316ක දැවැන්ත ඉලක්කය තරගයේ 44වැනි පන්දුවාරයේදී පසුකර යෑමට ඔස්ට්‍රේලියාවට හැකිවිය.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ජයග්‍රහණය සම්පූර්ණ කරනතුරු කඩුල්ලේ රැඳී සිටිමින් අගනා ලකුණු 154ක් රැස්කිරීමට සමත් විය. පන්දු 129කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 20ක් හා හයේ පහර 05ක් ඇතුළත් විය.

මෙය ට්‍රැවිස්ගේ ඉහළම එක්දින ඉනිම මෙන්ම 06වැනි එක්දින ශතකය ද විය.

ට්‍රැවිස්ට අමතරව මානස් ලැබුෂැන් පන්දු 61කින් ලකුණු 77ක් රැස්කිරීමට සමත් විය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49.4කදී සියලු දෙනා දැවී ලකුණු 315ක් රැස්කිරීමට සමත් විය. 

එහිදී බෙන් ඩකට් (95), විල් ජැක්ස් (62) අර්ධ ශතක රැස්කරමින් ඉනිම ඔසවා තැබූහ.

මෙම තරගයේදී ට්‍රැවිස් හෙඩ් හතරේ පහර 20ක් එල්ලකළ අතර, එය එක්දින තරගයදී ඔස්ට්‍රේලියානුවෙකු එල්ලකළ තෙවැනි වැඩිම හතරේ පහර සංඛ්‍යාවයි.

එමෙන්ම ට්‍රැවිස් නොදැවී වාර්තාකළ ලකුණු 154 සැලකෙන්නේ එංගලන්තයට එරෙහි ඔස්ට්‍රේලියානුවෙක් එල්ල කළ දෙවැනි ඉහළම ඉනිම ලෙසය.

තවද මෙම තරගයේදී මානස් ලැබුෂැන් අර්ධ ශතකයක්, කඩුලු 03ක් හා උඩපන්දු 4ක් ලබාගත් අතර, එය සැලකෙන්නේ ද ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ එක් තරගයකදී එවැනි දස්කමක් දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙසයි.