ගීතා සජිත්ගේ වේදිකාවට

ගීතා සජිත්ගේ වේදිකාවට

September 9, 2024   05:02 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. 

ඒ අනුව ඇය අද (9) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජන රැලිය සඳහා එක්ව සහයෝගය පළ කළාය.

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඇය මේ වන විට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන්නීය.

එසේම ළමුන් සහ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් ඇය නිරන්තරයෙන් පෙනී සිටි අතර ළමුන් පිළිබඳ සහ කාන්තාවන් පිළිබඳ කාරක සභා රැසක් ඇතුළු තවත් පාර්ලිමේන්තුවේ කාරක සභා රැසක සාමාජිකත්වය ඇය දරනු ලබයි.

ගීතා කුමාරසිංහ මහත්මිය 2010 - 2017 කාලයේදී බෙන්තර - ඇල්පිටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරිය ලෙස කටයුතු කළාය.

අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන ඇය 2017 - 2020 කාලයේදී එම පක්ෂයේ බෙන්තර - ඇල්පිටිය සංවිධායක ලෙස ක්‍රියාකර තිබුණි.  

2020 මහමැතිවරණයේදී මනාප 63,357ක් ලබා ගනිමින් ඇය පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.