මාරක රිය අනතුරු කිහිපයක් - කුඩා දැරියක් මරුට

මාරක රිය අනතුරු කිහිපයක් - කුඩා දැරියක් මරුට

September 17, 2024   08:08 am

ගතවූ පැය 24ක කාලය තුළ දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු කිහිපයක් හේතුවෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දෙහිඅත්තකණ්ඩිය අරගංවිල මාර්ගයේ 02 කණුව අසලදී අරගංවිල දෙස සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 60ක් වූ පුද්ගලයෙකි.

මැවච්චිය පොලිස් වසමේ මහනුවර යාපනය මාර්ගයේ මාරගහ වංගුව අසලදී රඹෑව දෙස සිට මැදවච්චිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඉදිරියෙන් පැමිණි බවුසර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රඹෑව රෝහලට ඇතුළත් කිරීමේ දී එක් දැරියක් මියගොස් ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 7ක දැරියකි.

මේ අතර ආරච්චිකට්ටුව නගරයේ සිට වැලිපැලැස්ස දෙසට ගමන් කළ පාපැදියක එම දිශාවටම ගමන් කළ පාපැදියක් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පාපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ අවුරුදු 41ක් වූ පුද්ගලයෙකි.