ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වෙන විදිය

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වෙන විදිය

July 5, 2024   02:57 pm

ශ්‍රී ලංකා රජය සහ ස්වෛරී බැඳුම්කරහිමියන් අතර පැමිණි එකඟතාවය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ නිල ණයහිමි කමිටුව විසින් අනුමත කළහොත් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

එම මාධ්‍ය සාකච්ඡාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද එක්වී සිටියේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, 

"ස්වෛරී බැඳුම්කරවලින් ගත්ත විශාල ණය ප්‍රමාණයක් තියෙනවා  බිලියන 14ක් පමණ. එකෙන් 12.5ක ණය ලබා දීපු අයත් එක්ක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවා. අපිට පුළුවන් වුණා යම්කිසි ආකාරයක අපි දෙගොල්ලන්ට එකඟ විය හැකි ස්ථානයකට ඇවිල්ලා... ඒ ප්‍රකාශය තමා අපි ඊයේ නිකුත් කළේ. හැකි ඉක්මනින් ඒ OCC වාර්තා සහ IMF එකේ විනිශ්චය ලබා දුන්නට පස්සේ ඒක සම්පූර්ණ කරන්න පුළුවන්. මේ ණය ප්‍රතිව්‍යූහගතකරණය කරාම සම්පූර්ණයෙන් දීර්ඝ කාලීනව ඊළඟ අවුරුදු 10 ක් 20ක් කාලය තුළ ණය තිරසර භාවය සාක්ෂාත් වෙනවා."