ජනපතිගේ ධුර කාලය නිමා වෙන දිනය කවදා ද ?

ජනපතිගේ ධුර කාලය නිමා වෙන දිනය කවදා ද ?

July 3, 2024   07:56 pm

ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමාවන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (03) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණි.

ඒ, මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි.

ව්‍යවසායකයකු වන සී.ඩී. ලෙනව මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ගොනු කළ පෙත්සමෙන් දක්වා තිබුණේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් නිර්මාණය වී ඇති බවය. 

2015දී බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් දක්වා අඩු කරන විට එය ජනමත විචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නොමැති බව පෙත්සම්කරු පෙන්වා දෙයි. 

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වැනි ව්‍යවස්ථාව අනුව නිසිපරිදි ජනමත විචාරණයක් නොපැවැත්වීමෙන් 30(2) ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නොමැති බවත්, එබැවින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05 කින්ද, නැතිනම් අවුරුදු 06 කින්ද යනුවෙන් ගැටලුවක් මතු වන බවත් පෙත්සමේ සඳහන් ය.

මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණයෙන් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා තිබේ.