අනධ්‍යයන කාර්යමණ්ඩලයට දැනුම්දීමක්

අනධ්‍යයන කාර්යමණ්ඩලයට දැනුම්දීමක්

July 6, 2024   01:20 pm

රටේ අනාගතය භාරගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන්නැයි සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩලයෙන් ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

ඔහු පවසන්නේ විශ්වවිද්‍යා‍ල අනධ්‍යයන කාර්යමණ්ඩලයේ ඉල්ලීම් උදය සෙනවිරත්න කමිටුව හරහා 2025 අයවැයට ඇතුළත් කරන බවට තමා පොරොන්දු වෙන බවය.

කෙසේවෙතත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වර්ජනය අද (06) 67වන දිනටත් ක්‍රියාත්මක වෙයි.

සිය මාසික හිලව් දීමනාව සහ 2016 වසරේ සිට පවතින වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටී.

මෙවන් පසුබිමක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ට ලිපියක් යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට පාදක වූ පරිදි මාසික හිලව් දීමනාව අනධ්‍යයන කාර්යමණ්ඩලයට ලබාදිය යුතු බවත් ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පෙනී සිටින බවත්ය.

නමුත් මෙම අවස්ථාවේදී මෙම ඉල්ලීම් සලකාබැලීම අපහසු බැවින් එම ඉල්ලීම් මීළඟ අයවැයේදී සලකා බැලීමට නියමිත බවද එහි සඳහන් වෙයි.

එමෙන්ම සේවක වැඩවර්ජනයට සම්බන්ධ වූ සියලුම සේවක කොටස්වලට දඬුවම් ආදී කිසිවක් සිදුනොකරන බවද එම ලිපියෙන් දනුම්දී තිබේ.