පොලිස් වෙඩිල්ලෙන් ආබාධිත වූ හංසක සුව කරගන්න උදව් ඉල්ලයි

පොලිස් වෙඩිල්ලෙන් ආබාධිත වූ හංසක සුව කරගන්න උදව් ඉල්ලයි

July 6, 2024   02:01 pm

මීට වසර එකහමාරකට පෙර පොලීසියේ වැරදීමකින් එල්ලවූ වෙඩි ප්‍රහාරයක් නිසා හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මාතර නාවිමන ප්‍රදේශයේ සිසුවෙකු මේ වනවිට පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වී සිටී.

ඔහුගේ මව්පියන් ඉල්ලා සිටින්නේ සිය දරුවා සුවපත් කරගැනීමට සහාය වෙන ලෙසය.

උපතින්ම ආබාධිත නොවූ හරීෂ් හංසකට සිදුවූ අනතුර හේතුවෙන් මේ වනවිට කතා කිරීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. 

මීට වසර එකහමාරකට පෙර පොලිස් නිලධාරියෙකු අතින් වූ වැරදීමකින් හංසකගේ හිසට වෙඩි පහරක් එල්ල වූයේ ඔහු ආබාධිත තත්ත්වයට පත්කරමිනි. 

එම අනතුරට ඔහු මුහුණ පා තිබුණේ ගමේ පන්සලේ පැවැත්වෙන පෙරහැරට කාවඩි නැටීම සඳහා මොණර පිහාටු සෙවීමට මිතුරන් සමග ගිය අවස්ථාවේදීය.

හංසක අද මෙලෙස හෝ ජීවත්වෙන්නේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම මතය.

පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා වු හංසක සුව කරගැනීම මව්පියන්ට මේ වනවිට අභියෝගයක් වී තිබේ.

ඒ පියා කුලී රැකියාවෙන් උපයන මුදල ප්‍රමාණවත් නොවීම හේතුවෙනි.

මේ දක්වා කළ ප්‍රතිකාර හේතුවෙන් ඇඳේ උඩුකුරුව සිටි හංසකට දැන් වාඩිවෙන්නට හැකියාව ලැබී තිබේ.

තවදුරටත් ඔහුව සුවපත් කිරීමට දේශීය වෛද්‍යවරයෙකු කැමැත්ත පළකර තිබුණද ඒ සඳහා හංසකව යොමුකරවීමට මව්පියන්ට හැකියාවක් නොමැත.