සුපිරි නිවාස සංකීර්ණයේ ඛේදවාචකය - CCTV ඔස්සේ පරීක්ෂණ

සුපිරි නිවාස සංකීර්ණයේ ඛේදවාචකය - CCTV ඔස්සේ පරීක්ෂණ

July 3, 2024   01:08 pm

කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක ගැහැනු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ඊයේ (02) රාත්‍රියේ මියයෑම සම්බන්ධයෙන් මේ වනවිට CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වයි.

පොලීසිය පැවසුවේ, මෙය සියදිවි නසාගැනීමක් බවට සැකපළ කරන බවය.

මොවුන් දෙදෙනා කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිට තිබුණි.

පොලිස් පරීක්ෂණවලිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් පැවති බවය.

ඊයේ පාසල අවසන් වී සිසුවිය සහ සිසුවා සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත.

ඔවුන් එහිදී ඇඳුම් මාරුකර, පාවහන් ගලවා ඔවුන්ගේ බෑගයන් ද එම මධ්‍යස්ථානය තුළ තබා 67 වැනි මහලට ගොස්  ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයට පිටතින් ඇති තරප්පු පෙළ ඔස්සේය.

අනතුරුව ඔවුන් එම මහළෙන් බිමට පැන සියදිවි නසාගන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි.

ඔවුන්ගේ සිරුරු හමුවුණේ, මහල් 70කින් යුත් එම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ ඇති වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදීය.

එම යන්ත්‍රවලට කැපී ඔවුන්ගේ සිරුරුවලට බරපතළ තුවාල සිදුව තිබුණි.

මියගිය සිසුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිසුවිය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.