කෝටි ගණනක ස්වර්ණාභරණ ජාවාරමක්

කෝටි ගණනක ස්වර්ණාභරණ ජාවාරමක්

July 3, 2024   10:34 am

ව්‍යාජ රන්භාණ්ඩ උපයෝගී කරගනිමින් රුපියල් 19,670,000ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බදුල්ලේ පෞද්ගලික මූල්‍ය ආයතනයක රන් භාණ්ඩ උකස් අංශයේ නිලධාරියෙක්ව මෙම ජාවාරම සම්බන්ධයෙන් බදුල්ල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පෞද්ගලික මුල්‍ය ආයතනයේ කළමණාකරු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය මේ පිළිබඳ විමර්ශන සිදුකර ඇත.

සැකකරුගේ ප්‍රකාශය මත සිදුකළ විමර්ශනවලදී මෙම වංචාව සඳහා යොදාගත් මාල, මුදු, වළලු, අත්පළදනා සහ පෙන්ඩන්ට්ස් යනාදී ව්‍යාජ ස්වර්ණාභරණ 41ක් සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවත් පොලීසිය සඳහන් කළේය.

විවිධ පුද්ගලයන් මෙම මූල්‍ය ආයතනය වෙත පැමිණ ස්වර්ණාභරණ උකස් කරන විට සැකකරු  ඒවා සඳහා ව්‍යාජ කූඨ ලේඛන නිකුත්කර ඇති බවත්, ඉන්පසු එම ස්වර්ණාභරණවලට සමාන (ඉමිටේෂන්) ස්වර්ණාභරණ  ඔන්ලයින් ක්‍රමයට ගෙන්වාගෙන ඒවා අදාළ කවරවලට දමා නියම රන් භාණ්ඩ උකස් කර මුදල් ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

උකස් කළ ස්වර්භාරණවලට අදාළ පොලිය ඒවායේ අයිතිකරුවන් නමින් සැකකරු විසින්ම ගෙවා ඇතිබව ද අනාවරණය වී තිබේ.