අද  LPL පිටියට එන කණ්ඩායම් මෙන්න

අද  LPL පිටියට එන කණ්ඩායම් මෙන්න

July 3, 2024   10:00 am

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කණඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය අද (03) පැවැත්වීමට නියමිතව තිබේ.

එම තරගය පස්වරු 3.00ට මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මේ අතර කලම්බූ ස්ටයිකර්ස් කණ්ඩායම සහ ගෝල් මාවලස් කණ්ඩායම තරගය ද මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

මේ අතර ෂඩාබ් ඛාන්ගේ සහ දුනිත් වෙල්ලාලගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (02) රාත්‍රියේ පැවති තරගයකින් ලකුණු 51ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය.

ඊයේ තරගයේදී ෂඩාබ් ඛාන් කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට සමත්වීම විශේෂත්වයකි.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ඊයේ රාත්‍රීයේ දී පැවැත්වුණේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතරය.

එම තරගයේ කාසියේ වාසිය දිනු කැන්ඩි නායක වනිඳු හසරංග පළමුව පන්දුවට පහර දීමට කලම්බු කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි කලම්බු ස්ට්‍රියිකර්ස් කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 20කදී දැවිගියේය.

තුන්වන කඩුල්ලට සදීර සමරවික්‍රම සහ මුහමද් වසීම් ලකුණු 78ක සබඳතාවක් ගොඩ නැගුවේ කලම්බු කණ්ඩායමට ජීවයක් එක් කරමිනි.

සදීර සමරවික්‍රම පන්දු 26කදී ලකුණු 48යි.

සදීරගේ දැවියාමෙන් පසු පිටියට එක්වූ නායක තිසර පෙරේරා ෂඩාබ් ඛාන් සමඟ එක්වු 6වන කඩුල්ලට ලකුණු 38ක් රැස්කළේය.

අනතුරුව චාමික කරුණාරත්න සමඟ එක්වූ තිසර 7 වන කඩුල්ලට ගොඩ නැගු සබඳතාව ලකුණු 41කි.

නායක තිසර පෙරේරා ලකුණු 38යි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවි කලම්බු කණ්ඩායම ලකුණු 198ක් රැස්කළේය.

පන්දු යැවීමේදි කසුන් රාජිත, වනිඳු හසරංග කඩුලු දෙක බැගින් දවාගත්හ.

ලකුණු 199ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අවසන් පන්දු 42ට ලකුණු 62 ක් ලබාගත යුතුව තිබිණි.

නමුත් 15 වන පන්දුවාරයේදී  ක්‍රියාත්මකවූ ෂඩාබ් ඛාන් කඩුලු ත්‍රිත්වයක් දවාගත්තේ කැන්ඩි පිලේ බලාපොරොත්තු සුන් කරමිනි.

LPL තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් දවාගත් දෙවැනි පන්දු යවන්නා ලෙස ෂඩාබ් ඛාන් වාර්තා අතරට එක්වුණි.

දුනිත් වෙල්ලාගේ ලකුණු 20ට කඩුලු 4ක් දවාගත්තේය.

ඒ අනුව කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට පන්දුවාර 15 යි පන්දු 5කදී සියලුදෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 147ක් පමණි.