ට්‍රම්ප් ගැන අපරාධ නඩු ගොනුකළ නොහැකි බවට උපරිමාධිකරණයෙන් තීන්දුවක්

ට්‍රම්ප් ගැන අපරාධ නඩු ගොනුකළ නොහැකි බවට උපරිමාධිකරණයෙන් තීන්දුවක්

July 2, 2024   02:04 pm

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ධුරයේ සිටියදී සිදුකළ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ නඩු ගොනුකළ නොහැකි බවට අමෙරිකානු උපරිමාධිකරණය තීන්දුකර තිබේ.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පාර්ශ්ව කිහිපයක් වරින්වර අපරාධ නඩු පැවරීමෙන් පසු තමන්ට ජනාධිපති විනිර්මුක්තියක් ඇතැයි නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව දුන්නේ ඊයේ (01) දිනයේදීය.

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ධුර කාලයේදී සිදුකළ නිල රාජකාරිවලට අදාළව ඔහුට එරෙහිව නඩු පැවරීමට නොහැකි බව එම තීන්දුවේ සඳහන්ය.

ඒ අනුව අධිකරණයේ විනිසුරු මඩුල්ලේ 9දෙනාගෙන් 6දෙනෙකුගෙන් බහුතර තීන්දුව බවට පත්ව ඇත්තේ ධුරයේ සිටින ජනාධිපතිවරයාට ඔහුගේ රාජකාරී කටයුතුවලදී ජනාධිපති විනිර්මුක්තියක් ඇති බවටය.

ඒ අනුව 2020 අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස්කිරීමට උත්සාහ කළ බවට ට්‍රම්ප්ට එරෙහිව ෆෙඩරල් අධිකරණයක් හමුවේ ඇති නඩුවට ද මෙම තීන්දුව ප්‍රබල අභියෝගයක් වනු ඇති බව එරට වාර්තා සඳහන් කරයි.

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයක් මෙවන් තීන්දුවක් ලබාදී ඇත්තේ ඉතිහාසයේ පළමුවරටය.

කෙසේ නමුත් වත්මන් ජනාධිපති ජෝ බයිඩන් චෝදනා කරන්නේ මෙම තීන්දුව මඟින් නීතියේ ආධිපත්‍යය යන රීතිය මුළුමනින්ම උල්ලංඝනය වන අතර එය වැරදි පූර්වාදර්ශයක් බවය.