මාරක රිය අනතුරු කිහිපයක් - දැරියක් ඇතුළු 5ක් මරුට

මාරක රිය අනතුරු කිහිපයක් - දැරියක් ඇතුළු 5ක් මරුට

July 4, 2024   11:09 am

ඊයේ (03) දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් දැරියක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මුල්ලියාවේලි පොලිස් වසමේ මුලතිව් නෙදුන්කේනි මාර්ගයේ මාමුලේ ප්‍රදේශයේ දී මුලතිව් දෙස සිට නෙදුන්කේනි දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කළ කුඩා දැරියකගේ ගැටී අනතුරක් සිදුව තිබිණි.

අනතුරෙන් තුවාල ලැබූ දැරිය මාංචෝල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 9ක් වූ මාමුලේ, මුල්ලියවේලි ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

මේ අතර බඩල්ලගම පොලිස් වසමේ රණවිරු පීරිස් මාවත ප්‍රදේශයේදී කෙහෙල්ඇල්ල දෙස සිට කෙහෙල්ඇල්ල මංසන්ධිය දෙසට ධාවනය වූ යතුරු පැදියක්, පැදිකරුට පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට ගොස් දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් තරුණයෙකු මිය ගොස් තිබේ.

එලෙස අනතුරෙන් මිය ගොස් ඇත්තේ 19 හැවිරිදි කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මේ අතර කුලියාපිටිය පොලිස් වසමේ නාරංගල්ල වඩුගෙදර මාර්ගයේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසලදී දැව කදන් පැටවූ ලොරියක් ආපදාවකට ලක්ව මාර්ගය මධ්‍යයේ නවතා තිබු අතර, එම අවස්ථාවේ දී නාරංගල්ල දෙස සිට පැමිණි යතුරු පැදියක පැදිකරු යතුරු පැදියෙන් බැස යතුරු පැදිය තල්ලු කර ගෙන පා ගමනින් ඉදිරියට පැමිණ තිබේ.

එම මොහොතේදී වඩුගෙදර සිට නාරංගල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් ආපදාවට ලක්වූ ලොරි රථය හේතුවෙන් ඉදිරියට යා නොහැකිව පසුපසට ධාවනය කිරීමේදී යතුරුපැදිය තල්ලු කර ගෙන යමින් සිටි යතුරු පැදිකරුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ අවුරුදු 64ක් වයසැති යතුරු පැදිකරු මිය ගොස් තිබේ.

තඹුත්තේගම පොලිස් වසමේ කැලේගම හංදියේදී තම්මැන්නාව දෙස සිට පහලගම දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් එකවරම මාර්ගයේ දකුණු දෙසට හැරවීමේ දී අනතුරක් සිදුව තිබේ.

එම අවස්ථාවේදී පහලගම දෙසට ධාවනය වූ යතුරු පැදිකරුට යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් කළ පදික කාන්තාවගේ ගැටී ඇත.

අනතුරට පත් පදික කාන්තාව තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර ඇය අවුරුදු 48ක් වූ කැලේගම, පහලගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පානදුර - රත්නපුර මාර්ගයේ කැටකැබැල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්ගත් කාන්තාවකගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර එහිදී බරපතළ තුවාල ලැබු කාන්තාව ඉංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.