තවත් විදෙස් රැකියා ජාවාරමක් උකුස්සා හෙළිකරයි

තවත් විදෙස් රැකියා ජාවාරමක් උකුස්සා හෙළිකරයි

July 1, 2024   08:05 pm

බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදෙස්ගත කරවීම සඳහා මුදල් ලබාගන්නා නීතිවිරෝධි විදේශ සේවා නියෝජිතායතනයක් පසුගියදා නීතියේ රැහැනට හසු කරගැනුණි.

උකුස්සාගේ අද (01) අනාවරණය ඒ පිළිබඳවය.

කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධි අයුරින් පවත්වාගෙන ගිය විදේශ සේවා නියෝජිතායතනයක් සම්බන්ධයෙන් ලැබුණු විශ්වසනීය තොරතුරක් මත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් අංශයේ නිලධාරින් සමඟ "අද දෙරණ උකුස්සා" අදාළ ආයතනය පිහිටි ස්ථානය සොයා ගියේය.

මෙම ආයතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබූ අතර අප එම ස්ථානයට ළඟා වූයේ ෆේස්බුක් ඔස්සේ අදාළ ආයතනය පිළිබඳ අප දැනගත් බව පවසමිනි.

පසුව ඔහු ඉල්ලා සිටින ලද ජීව දත්ත පත්‍රිකාව ද සමඟ නැවත ඔහුව හමුවීමට එන බව පවසමින් අප එම ස්ථානයෙන් පිටව ගියේය.

මද වේලාවකට පසු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ තවත් නිලධාරින් කණ්ඩායමක් සමග අප නැවත එම ස්ථානයට ගියේ අදාළ ජාවාරම නෛතිකව තහවුරු කරගැනීමේ අරමුණ ඇතිවය. 

සැකකරුගේ මෝටර් රථය තුළද ජාවාරමට අදාළ ලියකියවිලි ඇතැයි ලැබුණු තොරතුර මත වැටලීම් නිලධාරීන් හෝමාගම පොලීසිය දැනුවත් කළ අතර ඉන් පසුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගෙන්වා ගැනුණි.

එහිදී ඔහුගේ මෝටර් රථයේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 50කට අධික සංඛ්‍යාවක්, පුද්ගලයින්ගේ ජීව දත්ත පත්‍රිකා ඇතුළු තවත් ලියකියවිලි රැසක් සොයා ගැනුණි.

ජාවාරම්කරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ ඔහු ඇල්බේනියාවේ සහ රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් ලබාගෙන ඇති බවය.

නමුත් මේ දක්වා එලෙස මුදල් ලබාදුන් කිසිදු පුද්ගලයෙකු ව ඔහු විදෙස්ගත කර නැත.

එසේම අප එම ස්ථානයේ රැඳී සිටින අවස්ථාවේදීත් මෙම ආයතනය සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ තොරතුරු දැනගත් තවත් පුද්ගලයෙක් අදාළ ආයතනයට පැමිණියේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 62(2) වගන්තියට අනුව බලපත්‍රයක් නොමැතිව විදේශ සේවා නියෝජිතායතන පවත්වාගෙන යාම බන්ධනාගාරගත කිරීම දක්වා දඬුවම් ලැබිය හැකි වරදකි.

ඒ අනුව වහාම මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරින් කටයුතු කළේය.

ඔබටත් විදේශ රැකියා සිහිනයක් තිබිය හැකිය. නමුත් ඔබේ ඒ සිහිනය ඉටු කරගැනීමට මෙවන් ජාවාරම්කරුවන් වෙත ගොස් රැවටුණහොත් ඔබට රට රැකියාවත්, මුදලුත් දෙකම අහිමි වී ඔබ අසරණ තත්ත්වයට පත්වනු නොඅනුමානය. 

මෙවැනි නීතිවිරෝධි ක්‍රියාවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට "අද දෙරණ උකුස්සා" නිරන්තර අවදියෙනි.