තරුෂිට ඔලිම්පික් වරම් අහිමිවෙයිද ?

තරුෂිට ඔලිම්පික් වරම් අහිමිවෙයිද ?

June 30, 2024   09:22 pm

දියගම පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී සංවිධායකයින් වර්ෂාව මධ්‍යයේ ධාවන ශූරී තරුෂි කරුණාරත්න ගේ තරග ඉසව්ව පැවැත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (30)  අනාවරණ කළේය. 

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් තරුෂි පසුගියදා දියගම පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට එක් වූ අතර එහිදී ඇය සහභාගි වූ මීටර 800 කාන්තා ධාවන ඉසව්ව වර්ෂාව මධ්‍යයේ පැවැත්වීම පිළිබඳව "අද දෙරණ" අනාවරණයෙන් පසු එම සිදුවීම දැඩි ආන්දෝලනයට තුඩුදුන්නේය.

එවන් පසුබිමක පැරිස් ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අවසන් තේරීම් තරග කිහිපයක් අද (01) දියගමදී පැවති අතර ඊට තරුෂි කරුණාරත්න ද එක්වූවාය.

ඇය මෙහිදී මීටර 600 ධාවන ඉසව්ව සඳහා එක් වූ අතර විනාඩි එකයි තත්පර 26යි දශම 9යි9ක දක්ෂතාවක් වාර්තා කරමින් ඇය එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තාය.

පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 48 දෙනෙක් සුදුසුකම් ලැබීමට නියමිත අතර තරුෂි කරුණාරත්න තේරීම් තරගවලදී ලැබූ ජයත් සමග ශ්‍රේණිගත කිරීම් සටහනේ 42වන ස්ථානයේ පසුවෙයි.

එම ඔලිම්පික් ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 48දෙනෙක් සහභාගිවීමට නියමිත නමුත් ඉන් තිදෙනෙක් "wild card" අවස්ථාව යටතේ සහභාගි වන බැවින් තරුෂි ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමට නම් මුල් ක්‍රීඩිකාවන් 45දෙනා අතර සිටිය යුතු වේ.

දියගම පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී තරග සංවිධායකයින් වර්ෂාව මධ්‍යයේ තරුෂිගේ තරග ඉසව්ව පැවැත්වීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,

"දැන ක්‍රීඩා ඔම්බුඩ්ස්මන් ඉන්නවා පළමු වතාවට දාපු.  එතුමාටත් මේ සම්බන්ධයෙන් ගොඩක් විස්තර ඇවිත් තියෙනවා. මේ සම්බන්ධයෙන් පියවර අරගෙන ජාතික ක්‍රීඩා සභාවක් තියෙනවා. එකට දාලා එකෙන් තීන්දුවක් ගන්න බලපොරොත්තු වෙනවා. මම හිතනවා එතන දී මේක පැහැදිලි කර ගන්න පුළුවන් කියලා". 

අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගන්නවා ද?

"මම වාර්තාවක් කැඳවලා තියෙනවා . ඒ අනුව පියවර ගන්නවා."