නොසිතූ මොහොතක දිවියට සමුදුන් ධීවරයෝ

නොසිතූ මොහොතක දිවියට සමුදුන් ධීවරයෝ

June 30, 2024   08:56 pm

ගැඹුරු මුහුදේ දී විෂ ද්‍රව්‍යයක් පානය කිරීම හේතුවෙන් රෝගී තත්ත්යෙන් පසුවන ධීවරයා අද (30) රාත්‍රියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව වෙත භාරගැනීමට නියමිත බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ රෝගී ධීවරයාව සහ මියගිය ධීවරයාගේ දේහය සිංගප්පූරු වෙළෙඳ නෞකාවේ සිට විජයබාහු නෞකාව වෙත ලබාගැනීමට නියමිත බවය.

ඩෙවොන් 05 නමැති තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා මුහුදේ පා වී ආ බෝතලයක තිබූ ද්‍රව්‍යයක් පානය කිරීමෙන් රෝගී තත්ත්වයට පත් වූ අතර ඉන් පස් දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

රෝගී තත්ත්වයේ පසුවන ධීවරයා දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා,

"තවම ජීවතුන් අතර සිටින කෙනෙකේ ඉන්නවා අපට බේර ගන්න. අපි මූලිකත්වය දෙන්නේ දැනට ජීවතුන් අතර සිටින කෙනාව කරදරයක් නැතුව ඉක්මනටම බේරගන්න. ඒක කළාට පස්සේ අපට බලන්න පුළුවන් ධීවර යාත්‍රාවට මොකද කරන්නේ කියන එක. "

මෙලෙස මියගොස් තිබුණේ යාත්‍රාවේ ස්කිපර්වරයා වන 42 හැවිරිදි නයන කාන්ත , 24 හැවිරිදි පැතුම් දිල්ශාන්, 32 හැවිරිදි සුජිත් සංජීව , 33 හැවිරිදි ප්‍රදීප් නිශාන්ත සහ 68 හැවිරිදි අජිත් කුමාර යන ධීවරයින් 5 දෙනාය.

ඔවුන් මෙම අනපේක්ෂිත තත්ත්වයට මුහුණදෙන විට ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 365ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබී ඇත.