අත්අඩංගුවට ගත් ඉන්දියානුවන් ගණන තවත් ඉහළට

අත්අඩංගුවට ගත් ඉන්දියානුවන් ගණන තවත් ඉහළට

June 28, 2024   03:49 pm

ඔන්ලයින් වංචා සිදුකරමින් සිටි ඉන්දීය ජාතිකයින් 137 දෙනෙක් ඊයේ දිනය තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මීට පෙර ඉන්දුනිසියානු, බංග්ලාදේශ, පාකිස්තාන සහ විවිධ රටවල පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ප්‍රශ්නය - මෙපමණ පිරිසක් ලංකාවට ඇවිත් තියෙනවා බුද්ධි අංශ දැනුවත් නැත්තේ ඇයි?

"අපි දැනට හිතනවා මොවුන් මාස කිහිපයකට කලින් ආවා කියලා. නමුත් එකවරම අපිට මෙම තොරතුරු එන්නේ නෑ. අපි ක්‍රමානුකූලව මෙම වැටලීම කරලා තියෙනවා. නිලධාරීන් අවධානයෙන් හිටිය නිසා තමයි මේ ගැන සොයා ගත්තේ." 

ප්‍රශ්නය -  ශ්‍රී ලාංකිකයින් තමා මොවුන්ට නිවාස ලබාදෙන්නේ. ඔවුන්ට මොකද්ද වෙන්නේ ?

"සෑම පුරවැසියෙකුටම සමාජ වගකීමක් තියෙනවා. අපරාධයක් වැළැක්වීමකුත් එහෙම දෙයක්. තමන් මුදලක් ලබාගත්තා වගේ නෙමෙයි. යම් නිවසක් කුලියට දෙනවා නම්, ගොඩනැගිල්ලක් කුලියට දෙනවා නම් කවුද මේක ගත්තේ ඔවුන් මොන වගේ අයද යන කරුණු ගැන මෙන්ම යම් ත්‍රස්තවාදී ක්‍රියාවකට යොදා ගන්නවා ද නැත්නම් වෙනත් අපරාධයක් කරනවා ද යන්න සොයා බැලීමට අයිතියක් තියෙනවා. නිවසක් කුලියට දුන්නා ට පසුව විටින් විට එම ස්ථානය පරීක්ෂා කළ යුතුයි. ඔවුන් සැකකටයුතු ලෙස හැසිරෙනවා නම් පොලීසියට දැනුම්දෙන්න ඕනේ. නිවැසියන්ට අයිතියක් තියෙනවා ඒ ගැන තොරතුරු ලබාදෙන්න. අපරාධවලට සම්බන්ධ වුණොත් මෙම ගොඩනැගිලිවල හිමිකරුවන්ට පවා අපහසුතාවයන්ට මුහුණදෙන්න සිදුවෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අපරාධයට යොදා ගත් ස්ථානයත් අපට රඳවා ගන්න සිදුවෙනවා. ඒ නිසා ත්‍රස්තවාදී පනත යටතේ එවැනි ක්‍රියාවක් සිදුවුවහොත් ගොඩනැගිලි පවා රාජසන්තක කිරීමේ හැකියාවක් පවතිනවා. නිවසක් කුලියට දුන්නොත් අවධානයෙන් ඉන්න."